1960 දශකය මැද භාගයේ ජනතා විමුක්ති පෙරමුණ නිර්මාණය කොට
මේ වසරට අවුරුදු 60ක් සම්පූර්ණ වෙයි. ජනතා විමුක්ති පෙරමුණ සිය 60 වැනි සංවත්සරය සමරන්නේ රටේ ආණ්ඩු බලය හොබවන මහජන ව්‍යාපාරයට නායකත්වය දෙන පක්ෂය ලෙසය.
මෙය අවුරුදු සියයකට ආසන්න මෙරට මාක්ස්වාදි පක්ෂවල ඉතිහාසයේ කිසිදු වාමාංශික පක්ෂයකට ලද නොහැකි වූ ජයග්‍රහණයකි. මෙරට පැරණි වාමාංශික පක්ෂ වූ සම සමාජ සහ කොමියුනිස්ට් පක්ෂවලට 1940-1970 දශකවල සැලකිය යුතු ඓන්ද්‍රීය ජනතා පදනමක් ඇතැම් පළාත්වල තිබුණත්, කිසිදු විටෙක ආණ්ඩු බලය හොබවන තත්ත්වයට ළං වීමට ඒවාට නොහැකි විය. පැරණි වමෙන් කැඩී ගොස් නිර්මාණය වූ විවිධ නව වාමාංශික ප්රවණතා තිබුණත් ජවිපෙ සාර්ථක වූ ආකාරයට ළං වීමට හෝ ඒ කිසිවකට හැකි වූයේ නැත.
සිය වසර 60ක ඉතිහාසය තුළ ජනතා විමුක්ති පෙරමුණ විවිධ අවධි ඔස්සේ ගමන් කොට ඇත. මෙය සාපේක්ෂ සාර්ථකත්වයන් හා අසාර්ථක වීම් ගණනාවකින් යුක්ත, වටවංගු සහිත, දුෂ්කර මෙන්ම විචිත්‍ර ඉතිහාසයකි. මෙරට වාමාංශික දේශපාලනය තුළ අනෙක් වාම දේශපාලන ප්රවණතාවලට සාපේක්ෂව ජවිපෙ දේශපාලන ව්‍යවහාරය තුළ වූ නව්‍යතාව කුමක්ද? මේ ප්‍රශ්නයට විවිධාකාරයෙන් පිළිතුරු දිය හැකිය. මේ කෙටි සටහනේ අරමුණ, ජවිපෙ විසින් මෙරට දේශපාලනයට එක් කරන ලද, විශේෂයෙන් දේශපාලන න්‍යාය සම්බන්ධයෙන් උනන්දු වන අයට වැදගත් විය හැකි එක් ලක්ෂණයක් කෙරෙහි අවධානය යොමු කිරීමය.
ජනතා විමුක්ති පෙරමුණේ ඉතිහාසය අපට 1990ට පෙර සහ පසු ලෙස අවධි දෙකකට වෙන් කළ හැක. 1990ට පෙර යුගයේ ජවිපෙ දේශපාලන උපාය මාර්ගය සන්නද්ධ අරගල ආකෘතිය සමග සමීප සම්බන්ධතාවක් දැක්වූ අතර, 1988-89 භීෂණ යුගයෙන් පසුව ජවිපෙ ප්රජාතන්ත්රවාදී දේශපාලන ධාරාවට ඇතුළු විය. කෙසේ වුවද, මේ යුග බෙදීම අබිබවමින්, දිගටම දැකගත හැකි, එක්තරා ආකාරයක අඛණ්ඩතාවක්ද ජවිපෙ දේශපාලනය තුළ පවතී. මේ අඛණ්ඩතාව වන්නේ දේශපාලනය සඳහා ජවිපෙ හඳුන්වා දුන් කතිකාමය උපාය මාර්ගයේ වූ සුවිශේෂතාවයි.
රෝහණ විජේවීර යුගයේ සිටම ජවිපෙ දේශපාලනයේ වූ සුවිශේෂත්වයක් වන්නේ යම් ආකාරයක ද්විත්ව කතිකාවක් සහිතව ක්‍රියාත්මක වීමය. මාක්ස්වාදි අදහස් අනුව සකස් වූ සමාජවාදි කතිකාවක් සහ පුළුල් පොදු ජන කොටස් වෙත යොමු වූ ජනතාමය (popular) කතිකාවක් ලෙස මේ ද්විත්වවාදය සමන්විත විය. මෙය සාමාන්‍යයෙන් මෙරට ගතානුගතික වාමාංශයට අයිති දේශපාලන පක්ෂවල දක්නට ලැබුණු ලක්ෂණයක් නොවේ. නිදසුන් ලෙස: මෙරට සාම්ප්‍රදායික වාමාංශික පක්ෂ වූ සමසමාජ හා කොමියුනිස්ට් පක්ෂ දේශපාලනය කළේ කම්කරු පන්තිය සංවිධානය කිරීමටය. කම්කරු-ගොවි ආණ්ඩුවක් යන්න ඔවුන්ගේ සටන් පාඨය විය.
එහෙත් ජනතා විමුක්ති පෙරමුණ ආරම්භයේ සිටම යම් ආකාරයක වෙනස් ශෛලියක් දේශපාලනය වෙත ගෙන ආවේය. ජවිපෙ න්‍යෂ්ඨිය සමන්විත වූයේ මාක්ස්වාදී අදහස්වලිනි. පක්ෂය ගොඩනංවන ලද්දේ ලෙනින්වාදී ආකෘතිය අනුවය. දෘෂ්ටිමය වශයෙන් ක්‍රියාධරයන් පුහුණු කරන ලද්දේද මාක්ස්වාදී අදහස් අනුවය.
එහෙත් පුළුල් බහුජන කොටස් වෙත යන විට, ආරම්භයේ සිටම අපට පෙනෙන ලක්ෂණයක් වන්නේ විවිධ සමාජ තීරුවලට ආමන්ත්‍රණය කළ හැකි යම් ජනතාමය කතිකාවක් කෙරෙහි යොමු වන ආකාරයයි. උදාහරණයක් ලෙස: ‘80 ගණන්වල අග ජාතික දේශපාලනය තුළ ජවිපෙ මතු වූයේ දේශප්‍රේමි අරගලයට නායකත්වය දෙන බලවේගය ලෙසටය. දේශප්‍රේමි සටන් පාඨය යටතේ දකුණු ලංකාවේ විශාල ජනතාවකගේ අවධානය තමන් වෙත දිනාගැනීමට ‘80 දශකය අග ජවිපෙ සමත් වූ බවද නොරහසකි. එහෙත් දේශප්‍රේමි අරගලය පිළිබඳ ජනප්‍රිය සංවාදය, සමාජවාදය පිළිබඳ වූ අභ්‍යන්තර සංවාද තලයක් සමඟ සහසම්බන්ධිත එකක් විය.
මේ ද්විත්ව උපාය මාර්ගයේ වාසිය වූයේ යම් ආසන්න කවයක් තුළ දෘෂ්ටිවාදීමය ඒකත්වය පවත්වා ගන්නා ගමන්, සිය ආසන්න කවයෙන් ඔබ්බට ගොස් විවිධ සමාජ තීරු හා ශ්‍රේණි විනිවිද යන ආකාරයේ ජනතාමය හවුලක් (popular bloc) නිර්මාණය කිරීමට ඒ තුළ වූ ශක්‍යතාවයි. පෙර සඳහන් කළ පරිදි, මෙරට සාම්ප්‍රදායික වාමාංශය කතා කළේ කම්කරු පන්තියටය. පැරණි වාමාංශයේ සභාගවාදයට එරෙහිව නිර්මාණය වූ නව සම සමාජ පක්ෂය බඳු නව ප්රවණතාවලද ආමන්ත්රණ අක්ෂය වූයේ කම්කරු පන්තියයි. ක්‍රියාධරයන් අතර වූ සංවාද තලය සහ බහුජනයා සමඟ වූ සංවාද තලය අතර වෙනසක් නොවීය.
මෙහි වූ සීමාව නම්, සමාජ අනන්‍යතා එන්න එන්නම සංකීර්ණ ස්වභාවයක් ගන්නා පසුබිමක් තුළ, සරල පන්තිමය ආමන්ත්‍රණයක් පුළුල් බහුජනතාවකගේ පරිකල්පනය සමඟ සමපාත නොවීමේ තත්ත්වයක් ඇති වීමය. දේශපාලන සාහිත්‍යය තුළ ‘හෙජමොනිය’ නමින් හැඳින්වෙන බහුවිධ සමාජ කොටස් යම් එක් දේශපාලන ව්‍යාපෘතියක් වටා ඒකරාශි කරගැන්මට අවශ්‍ය ආකර්ෂණ ශක්තිය එබඳු දේශපාලනයක් වෙත නැත.
මීට වෙනස්ව, ජනතා විමුක්ති පෙරමුණ කතා කළේ ‘ජනතාවට’ ය. දේශපාලනයේ විවිධ සන්දර්භයන්ට සාපේක්ෂව ජවිපෙ පොදුජන ආමන්ත්‍රණය වෙනස් වූ ආකාරයක් දක්නට ලැබේ. ’80 දශකය තුළ මේ ජනප්‍රිය ආමන්ත්‍රණය දේශප්‍රේමි අරගලය වූ අතර, 1990 ගණන්වල සාම්ප්‍රදායික පක්ෂ සම්බන්ධයෙන් වූ විරෝධය බවටද, 2000 ගණන්වල යළි දේශප්‍රේමයද ලෙස එය වෙනස් විය. විශේෂයෙන්ම 2010ට පමණ පසුව, ජවිපෙ පොදු ජන ශ්‍රේණීන් ආමන්ත්‍රණය සඳහා යොදාගත්තේ ප්රජාතන්ත්රවාදයේ භාෂාවයි; එනම්: ජනතාව පෙළමින් පාලනය හොබවන ප්‍රභූ කවයට එරෙහිව ‘ජනතාව’ බලය අත් පත් කරගත යුතු බවට වූ පණිවිඩයයි.
පණිවිඩයේ සන්ධාරය අවස්ථාවට අනුව වෙනස් වුවත්, එහි වූ ආකෘතිය එක හා සමානය; එනම්: පක්ෂයේ ක්‍රියාධර තලයට යොමු වූ අභ්‍යන්තර කතිකාවක් සහ පොදුජනයා වෙත යොමු වූ ජනතාමය කතිකාවක් ලෙස වූ සුසම්බන්ධයයි. ඉතිහාසය පුරා ජවිපෙට එරෙහිව සිටි ඇතැම් වාමාංශික විවේචකයන් හුදෙක් බාහිර කතිකාව දෙස පමණක් බලා ඒ ගැන විවිධ විචාර කරනු දැකගත හැකිය. ජවිපෙ ජාතිවාදි හෝ ලිබරල් පක්ෂයක් බවට කෙරෙන චෝදනා ඒ අතර සුලභය. මෙන්න මේ පටලාගැනීම ඔවුන්ට සිද්ධ වන්නේ ජවිපෙ කතිකාමය උපාය මාර්ගයේ තිබෙන ද්විත්ව ස්වභාවය, ඒ තුළ ගැබ්ව තිබෙන නව්‍යත්වය ඔවුන්ට ගෝචර නොවන නිසාය.
පසුගිය වසර කිහිපය තුළ, මහජන ව්‍යාපාරයක් ලෙස ජාතික ජන බලවේගය නිර්මාණය වන විට හා සාර්ථක වන විට, ඒ පසුපස තිබෙන තර්කනය වන්නේ මෙන්න මේ ද්විත්වවාදි උපාය මාර්ගය මනා සමබරතාවක් සහිතව පවත්වාගැන්මට ජනතා විමුක්ති පෙරමුණ දක්වා තිබෙන සුහුරුභාවයයි. සමාජයේ විවිධ බහුජන කොටස් කම්කරුවන්, ගොවීන්, මැද පන්තිකයන්, වෘත්තිකයන් ආදි පිරිස් දූෂිත ප්‍රභූ සංස්ථාපිතයට එරෙහිව ‘ජනතාව’ යන අක්ෂය වටා සංවිධානය කිරීමට ජාතික ජන බලවේගයට හැකි වූයේ ලෙනින්වාදී සංවිධානය අනුව කටයුතු කරන කාර්යධරයන්ගේ ශ්‍රේණියක් සහ බාහිරට යොමු වූ පොදුජන කතිකාවක් යන ද්විත්ව උපාය මාර්ගය සාර්ථක ලෙස මෙහෙයවූ නිසාවෙනි. සාම්ප්‍රදායික වාමාංශයේ කම්කරුවාදි (workerist) භාෂාවට ජවිපෙ සීමා වූයේ නම්, පුළුල් ජනතා කොටස් ඒකරාශි කරන නව පොදු ජන අවබෝධයක් නිර්මාණය කිරීම කළ නොහැක්කක් වන්නට ඉඩ තිබිණි.
@රමිඳු පෙරේරා
silumina