SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ්හි පිහිටි පුරාණ ස්තූපයකින් 1898 දී සොයා ගන්නා ලද බෞද්ධ පුරාවස්තුවලට අයත්

මැණික් ගල් ඇතුළු පුරාවස්තු 300කට අධික එකතුවක් ලලිත කලා, එකතු කළ හැකි භාණ්ඩ සහ ස්වර්ණාභරණ සම්බන්ධ සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය වෙන්දේසි සමාගමක් වන සොතෙබිස් විසින් පසුගිය මැයි 7 දා වෙන්දේසි කිරීමට නියමිතව තිබුණි.

 

 

පසුව එය කල් දමා තිබේ. ඒවායේ මූලික ලංසුව ලෙස සඳහන් කර තිබුණේ හොංකොං ඩොලර් මිලියන 100ක් (අමෙරිකානු ඩොලර් මිලියන 12.9) කි. එය ශ්‍රී ලංකා මුදලින් රු. කෝටි 386 ක් වේ.

 

මෙම මැණික් එකතුවට මුතු, රතු කැට, පුෂ්පරාග, නිල් මැණික් සහ කැටයම් සහිත රන් තහඩු 1,800 කට ආසන්න සංඛ්‍යාවක් ඇතුළත් වේ.

 

බුද්ධ කාලයට අයත් මෙම පුරාවස්තු නූතන යුගයේ වඩාත්ම කැපී පෙනෙන පුරාවිද්‍යාත්මක සොයාගැනීම්වලින් එකක් ලෙස සැලකේ. එක්සත් රාජධානියේ සහ වෙනත් බෞද්ධ රටවල්වලින් ද මෙම වෙන්දේසියට විරෝධය එල්ල වී තිබේ. ඒ අතර ඉන්දියානු රජය එම පුරාවස්තු තම රටට බාරදෙන ලෙස වෙන්දේසි සමාගමට දැඩි ඉල්ලීමක් කර ඇත. එම වෙන්දේසිය නතර කරන ලෙස සදබි වෙන්දේසි සමාගමට ඉන්දීය සංස්කෘතික අමාත්‍යංශය නීතිමය දැනුම්දීමක් ද සිදුකර තිබේ. සංස්කෘතික අමාත්‍යංශය සඳහන් කරන්නේ හොංකොං ආරක්ෂක අංශ සමඟ සම්බන්ධීකරණයෙන් කටයුතු කරන ලෙස ඉන්දීය මූල්‍ය විමර්ශන ඒකකයට දැනුම් දී තිබෙන බවයි. සදබි වෙන්දේසි සමාගම එම නොතීසියට ප්‍රතිචාර දක්වා ඇති අතර සියලු‍ කරුණු කෙරෙහි අවධානය යොමු කිරීමෙන් තීරණයක් ගන්නා බව දැනුම් දී ඇතැයි ඉන්දීය සංස්කෘතික අමාත්‍යංශය සදහන් කර සිටී.

 

මෙම ධාතු වෙන්දේසි කරන සොතෙබි හොංකොං කාර්යාලය වෙන්දේසි නාමාවලියෙහි සඳහන් කරන්නේ මෙම පුරාවස්තු මුල් ධාතු කරඬුවේ තිබූ මැණික් හා ආභරණවලට පමණක් සීමා වී ඇති බවත් බුදුන් වහන්සේගේ සර්වඥ ධාතු අඩංගු නොවන බවත්ය.

 

 

බ්‍රිතාන්‍ය මහා බෝධි සංගමය පවසන්නේ “ඉන්දියානු ඉතිහාසයේ විපර්යාසයන් නොතිබුණේ නම්, එවැනි භාණ්ඩ දැන් විකිණීමට ඉදිරිපත් නොකෙරෙන අතර ඒ වෙනුවට, ඒවා තවමත් බුදුන් වහන්සේගේ ශාරීරික ධාතු සමඟ සංරක්ෂණය කර තිබෙනු ඇති බවයි. අන් අයගේ දේපළ නොගන්නා ලෙස ධර්මය අපට උගන්වයි. මෙම වස්තූන් ඉහළම ලංසුකරුට වෙන්දේසි කිරීම ඒවායේ අධ්‍යාත්මික වටිනාකමට නොගැලපේ.” යනුවෙනි.

 

 

උතුරු ඉන්දියාව බ්‍රිතාන්‍ය පාලනය යටතේ පැවති කාලයේ දූවිල්ලෙන් වැසී තිබුණු කුඩා කන්දක් වැනි ස්ථානයක් කැණීමෙන් සොයාගත් මෙම ධාතු, බොහෝ දෙනකුගේ ඇස නොගැටී බ්‍රිතාන්‍යයේ පෞද්ගලික එකතුවක සියවසක පමණ කාලයක් තිබිණි. මෙම මැණික් ඒවායේ භාරකරුවන් විසින් වෙන්දේසි කරන බව දැනුම්දෙනු ලැබීමත් සමඟ පුරාවස්තු එකතු කරන්නන්ගේ උනන්දුව වැඩිවී ඇතිවා පමණක් නොව, බෞද්ධාගමිකයන් අතර යම් නොසන්සුන්තාවක් ද ඇතිවී තිබේ.

 

වසර 2000 කට වැඩි කාලයකට පෙර බුදුන් වහන්සේද අයත් වන ශාක්‍යයන් විසින් ඉදිකරන ලද ස්තූපය පස් ගොඩැල්ලක් බවට පත්ව නේපාල දේශසීමාවට නුදුරින් ඉන්දියාවේ උත්තර් ප්‍රදේශයේ පිප්‍රවා ගම්මානයෙන් පිටත වෘක්ෂලතාදියෙන් වැසී තිබුණි. 1890 දශකය වන තෙක් බ්‍රිතාන්‍ය සිවිල් සේවයේ රාජකාරි කළ බොහෝ පුරාවස්තු සොයන්නන්ගේ හෝ පුරාවිද්‍යා අංශවල හෝ අවධානයට එම පස් ගොඩැල්ල ලක්වුණේ නැත. නමුත් එවකට ඉන්දියාවේ සේවය කළ බ්‍රිතාන්‍ය යටත්විජිත ඉංජිනේරුවකු සහ ඉඩම් හිමියකු වූ විලියම් ක්ලැක්ස්ටන් පෙපේගේ අවධානයට එය ලක් විය. ඔහු කම්කරුවන් යොදවා කැලෑව ඉවත් කර කැණීමට ලක් කළේය. 1896-97 ඉන්දියාවේ පැතිර තිබූ සාගතය නිසා පෙපේගේ වතුවල වැඩ කළ අඳ ගොවීන්ට රැකියා අහිමි වූ අතර ඔවුන්ට වැඩක් පැවරීමට අවශ්‍ය නිසා මේ කැණීම් සිදුකළ බව පැවසේ.  මේ කැණීම් ගැන රාජකීය ආසියාතික සංගමයේ සඟරාවට ලිපියක් ලියන විලියම් පෙපේ සඳහන් කරන්නේ, ගෞතම බුදුන්ගේ උපන් ස්ථානය සිහිපත් කරන ලු‍ම්බිණි අශෝක කුලු‍න සොයා ගැනීමෙන් පසු, නේපාල භූමියේ වයඹ දෙසින් කපිලවස්තු සහ ඊසාන දෙසින් ලු‍ම්බිණි උද්‍යානය දක්වා විහිදෙන මාර්ගය පුරා බ්‍රිතාන්‍ය භූමිය තුළ සැතපුම් කිහිපයක් දුරින් තිත් සහිතව දක්නට ලැබෙන විවිධ පස් කඳු හෝ ගොඩැලි පිළිබඳව සැලකිය යුතු කුතුහලයක් ඇති වී තිබෙන බවයි. මෙම කැණීම් 1897-98 කාලයේ සිදු කෙරිණි.

 

 

ඉන්දු ඉතිහාසඥ වින්සන්ට් ස්මිත් පෙපේට කැණීම් සඳහා උපදෙස් දුන් අතර, අශෝක රාජ යුගයට අයත් පුරාණ බෞද්ධ ස්තූපයක් බව ස්මිත්ගේ අදහස විය. ලු‍ම්බිණියේ කැණීම්වලින් ලත් පුරාවස්තු නිසා ඒ කාලයේ බෞද්ධ පුරාවස්තු ගැන උනන්දුවක් ජනිත වී පැවති අතර උනන්දුවෙන් දාගැබේ කැණීම් සිදු කෙරිණි. ගොඩැල්ල මත වැවී තිබූ ලඳු කැලෑ සහ වනාන්තර එළි පෙහෙළි කිරීමෙන් පසු, ඔවුහු පස් කන්ද හරහා ගැඹුරු අගලක් තැනීමට පටන් ගත්හ.

 

 

ඝනකමැති ගඩොල් ඉදිකිරීම් අතරින් අඩි 18 ක් යටට හාරා බැලීමෙන් පසු, ඔවුන්ට විශාල ගෝලාකාර කුටියක් හෙවත් ධාතු ගර්භයක් නිරාවරණය විය. එහි කළුගලින් කරන ලද පෙට්ටියක අස්ථි කොටස්, රන් ආභරණ සහ සංකීර්ණ ලෙස නිර්මාණය කරන ලද ආභරණ අඩංගු කුඩා බඳුන් පහක් තිබුණි.

 

 

මෙම පූජනීය තැන්පත්වල එක් තැනක මෙතෙක් වාර්තා වී ඇති විශාලතම වටිනා පූජා සමූහය මතුවිය. මැණික් ගල් සහ අර්ධ වටිනා ගල් 1,800 ක් පමණ (බොහෝ හැඩැති සහ විදින ලද), පාෂාණ ස්ඵටික, මුතු, කොරල්, එම්බෝස් කරන ලද රන් සහ රිදී තහඩු, කැටි ගැසුණු රන්, මෙන්ම මහා පරිශුද්ධභාවයක් ඇති බවට සැලකෙන අස්ථි සහ අළු තැන්පත් කළ කරඬු ද ඒ අතර තිබුණි. එම කරඬුවල බ්‍රාහ්මී අක්ෂරයෙන් කොටා තිබුණේ බුදුන්ගේ ශාරීරික ධාතු මෙහි තැන්පත් කර ඇති බවයි. ඒ අනුව පිප්‍රවා කරඬුවේ තිබී හමුවූ අස්ථි ශේෂ බුදුන්ගේ ධාතු බවට පිළිගැනුණි.

 

 

විලියම් පෙපේ විසින් මැණික්, ධාතු සහ ප්‍රතිමා එකල යටත්විජිත ඉන්දියානු රජයට භාරදුන් අතර, අස්ථි ධාතු සියම්හි බෞද්ධ රජු වෙතට ලබා දී තිබුණි. ධාතු කරඬු පහක්, ශෛලමය පෙට්ටගමක් සහ තවත් බොහෝ ධාතු එවකට කල්කටාවේ ඉම්පීරියල් කෞතුකාගාරය ලෙස හැඳින්වූ කොල්කටාහි ඉන්දියානු කෞතුකාගාරයට ලබා දී තිබේ.

 

ඔහුට තබා ගැනීමට ඉඩ දුන් කුඩා “අනුපිටපත්වලින් කොටසක්”‍ පමණක් පෙපේ පවුල තුළ ඉතිරිව ඇති බව ඔහු සටහන් කර තිබේ. දැන් වෙන්දේසියට සූදානම් වන්නේ විලියම් පේපේගේ පරම්පරාවට අයිතිව තිබූ එම පුරාවස්තු සම්භාරයයි.


ඉන්දියාවේ සංස්කෘතික අමාත්‍යාංශය පවසා ඇත්තේ මෙම විකිණීම “ඉන්දියානු සහ ජාත්‍යන්තර නීති මෙන්ම එක්සත් ජාතීන්ගේ සම්මුතීන් උල්ලංඝනය කරන”‍ බවයි. තවද මෙම ආභරණ පූජනීය ලෙස සැලකිය යුතු බව ද එම අමාත්‍යංශය සඳහන් කර සිටී.

 

 

@ කුසුම්සිරි විජයවර්ධන

Deshaya

නවතම ලිපි