දෙදාස් දාහතර වසරේ පෙබරවාරි පස්වැනිදා කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල විද්‍යාලයේ
11 වසරේ ඉගෙනුම ලැබූ, දහසය හැවිරිදි පී.බී. වෙනූෂා ඉමන්දි බණ්ඩාර නමැති ශිෂ්‍යාව ගෙල වැළලාගෙන සියදිවි හානිකරගෙන තිබිණි.
ඈ මියයාමට පෙර සිය පියා අමතා පිටු තුනක ලිපියක් ද ලියා තිබිණි. වෙනූශා ගේ දිවිනසා ගැනීමට හේතුව ලෙස දැක්වුණේ කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල විද්‍යාලයේ එවක විදුහල්පති සමන් ඉන්ද්‍රනාත විසින් පාසලේ උදේ රැස්වීමේදී දැරිය වෛශ්‍යාවක ලෙස ප්‍රසිද්ධියේ හඳුන්වා දෙමින් කළ මානසික කෘරත්වයට බඳුන් කිරීමකි. ඊට හේතුව වෙනුෂා ෆේස්බුක් ගිණුමක් පවත්වා ගෙන යාමත් එහි සිය පින්තූර පළ කිරීමත්ය.
දෙදාස් දාහතර වසරේ පෙබරවාරි දහනව වැනිදා අදාළ විදුහල්පතිවරයා ජාතික ළමාරක්ෂක අධිකාරිය යටතේ පිහිටි ළමා හා කාන්තා කාර්යාංශයේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගන්නා ලදී. ඔහු සමාජයේ බලවත් නෙට්වර්ක් එකක් සහිත පුද්ගලයෙකු විය. ඔහුට එරෙහිව මේ සිද්දියට සාක්ෂි දුන් ගුරුවරු තිදෙනෙකුට හදිසි ස්ථානමාරු ලැබිණ. ඒ ජේ. එන්. විජේසිංහ, ශාන්ත වර්ණකුලසූරිය, ඩබ්ලිව්. ආර්. වඩුපොළ මහත්මිය, එච්. එම්. යූ. හේරත් යන ගුරුවරුන්ය. කුරුණෑගල කලාප අධ්‍යාපන කාර්යාලයේ සහකාර අධ්‍යාපන අධ්යක්ෂ ජේ. එච්. එම්. ගුණදාස මහතාගේ අස්සනින් යුතු දෙදාස් දාහතරේ මාර්තු දාහත දිනැති ලිපි මඟින් මේ මාරුවීම් ලබාදී තිබිණ.
පාසල් දරුවකුට ලැජ්ජාවක්, බියක් ඇතිවන අයුරින් සහ ප්‍රසිද්ධියේ අවමානයට ලක්වන පරිදි යම් ක්‍රියාවක් සිදුකර ඇත්නම් ඒ ළමයාට ඇතිවන බිය හා ලැජ්ජාව නිසා ඒ ළමයා හානියක් කරගන්නේ නම් ඒ පිළිබඳව එය කළ පුද්ගලයා වගකිවයුතු බව නීතියේ දැක්වෙන බව එවක මේ සිදුවීම සම්බන්ධව පරීක්ෂණ පැවැත්වූ උසස් පොලිස් නිලධාරියෙක් පැවසූ බවට පුවත්පත් වාර්තා ඇත. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ උසස් පොලිස් නිලධාරියා සඳහන් කළේ දණ්ඩ නීති සංග්‍රහයේ 308 වගන්තියේ කෘරත්වයට පැමිණවීම යටතේ මෙම පරීක්ෂණය සිදුකරගෙන යන බවය.
ඉන් අනතුරුව මෙම විදුහල්පති වරයා නැවත සේවයට අනුයුක්තව, උසස්වීම් ද ලබා කුරුණෑගල මලියදේව පිරිමි විදුහලේද විදුහල්පති ධූරය හෙබවීය.
වෙනුෂා වෙනුවෙන් එදා අප සමාජ මාධ්‍යය ඔස්සේ හඬ නැගුවෙමු. දරුවන්ට එරෙහිව සිදුවන අපයෝජන සහ කෘරත්වයට පැමිණවීම් පිලිබඳ නීතියේ සාධාරණය ඉල්ලා සිටියෙමු. වෙනුෂා ට සිදුවූ අසාධාරණය රටේ වෙනත් දරුවෙකුට සිදුනොවන්නට නීතියේ ක්‍රමවත් බව ඇතිකරන ලෙස ඉල්ලා සිටියෙමු. ගුරුවරු කිහිප දෙනෙකු, සමාජ මාධ්‍යයේ නොදත් මිනිසුන් හැරෙන්නට ඈ වෙනුවෙන් එදා පෙනී සිටියේ ලංකා ගුරුසේවා සංගමයයි. මේ සම්බන්ධව ජෝසප් ස්ටාලින් සහෝදරයා ගේ මාධ්‍ය නිවේදනය මෙහි පළමු කොමෙන්ටුවේ ඇත.
අද, දෙදහස් විසිපහේ මැයි දසවෙනි දින අපි, අතවරයට සහ මානසික කෘරත්වයට බඳුන්ව පසුගියදා කොටහේනේදී සිය දිවි හානිකරගත් දහසය හැවිරිදි අම්ෂි ගැන කතා කරමින් සිටින්නෙමු. එකම වෙනස වෙනුෂා ගේ අසාධාරණ මරණය සිදුවන විට බලයේ සිටියේ එක්ස් ආණ්ඩුව වීමත්, අම්ෂි ගේ මරණය මරණය සිදුවන විට බලයේ සිටින්නේ වයි ආණ්ඩුව වීමත් ය. අපි පැවති සියලු ආණ්ඩු වලින් බැනුන් අවලාද අසමින් සිටින්නෙමු.
මිත්‍රවරුණි,
මේ ඛේදවාචකය මෙතැකින් අවසන් නැත. එය විවිධාකාර වේශයන්ගෙන් අපේ දරුවන් බිලිගනිමින් සිටී. ඔබේ දරුවන් ඔබේ සහෝදර සහෝදරියන් ආරක්ෂිතද, ඔවුන් ගේ ආරක්ෂාව වෙනුවෙන් ඔබ ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාද කියා අප ඔබෙන් අසන්නෙමු. ඒ ප්රශ්නය ඔබට මගහැර යා නොහැකිය.
දරුවන් වෙනුවෙන් රාජ්‍යයේ වගකීම ඉෂ්ට කරන්න බලකරන්න !
ස්තූතියි.
වෙනුෂා ගේ මරණයෙන් නම වසරකට පසු ඇගේ අනුස්මරණ දිනයේදී මා මිත්‍ර රුවන් නෙලූ විසින් ලියූ කවියක මෙසේ සටහන් විණි.
මහ ඇදුරු මරියනා අගාධේ වෙති තාම
සිසු කැළත සිතිජයෙන් එබී බලනුව කෝම
වදනකින් වදනකට සොවින් කැළැතෙන බෝම
හදවතින් වෙර පුරමි මහාමේරුව සේම
වෙනූෂා ආදරෙන් හණ මිටිය හිල් කරමු
මෙඩූෂා වී වරෙන් අපි මුන්ව ගල් කරමු !
**අප පළ කරන ලිපි හරහා ඔබේ කීර්ති නාමයට් හානි සිදුවන්නේ නම්, අදාළ එන්තරවාසි එවීමට ෆේස්බුක් මැසෙන්ජර් යෙදුම භාවිත කරන්න.
@නදීශා චන්ද්‍රසේන
Nadeesha Chandrasena fb page