SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

නලින් ද සිල්වා මහතාගේ අභාවයෙන් වසරක් ගෙවී යන දවසක,

තැන තැන කෙරෙන ව්‍යාජ ප්‍රචාරක ඈඳා ගැනීම් වෙනුවට ඔහුගේ අභිප්‍රාය යම් ආකාරයකට වත් හඳුනා ගන්නට කෙරෙන මෙවැනි උත්සාහයක් ඔහුට කලහැකි (සමහර විට ඔහු නොතකා හැරියහැකි) ගෞරවයක්/ආචාරයක් බව මගේ අදහසයි.

 

 

ඉහත ස්ථාවර දෙකම (සැබවින්ම ස්ථාවරය) ප්‍රශ්න කරමින්, “සමාජවාදයට නව අර්ථකතනයක්” අවශ්‍ය බව පවසමින්, වාස්තවික යථාර්ථයේ පැවැත්ම පිළිගැනීම ප්‍රතික්ෂේප කරමින්, “බටහිර විද්‍යාවට” එරෙහිව ලංකාව තුල ප්‍රථම වරට බරපතල ස්ථාවරයක පිහිටන්නේ නලින් ද සිල්වා පමණි.

 

 

ඉහත ස්ථාවරයන් දෙකටම එරෙහිව ලංකාව තුලින් පැමිණි එකම විකල්පය වූයේ එයයි. පසු කලෙක නලින්ගේ ඉදිරිපත් කිරීම “සමාජවාදයට නව අර්ථකතනයක්” යන්න වෙතින් විතැන් වෙමින් “සිංහල බෞද්ධ ජාතිකත්වය” බවට පත්විය.

 

 

කෙසේ වෙතත් බටහිර විද්‍යාව පිළිබඳව ඔහුගේ කියවීම මෙරට වාමාංශිකයින් හට දිරවා ගැනීමට නොහැකි විය. එය තේරුම් ගැනීමට උත්සාහ දරනවාට වඩා ඔවුන් විසින් සිදු කරන ලද්දේ නලින් යනු ජාතිවාදියෙකු බවත්, මෙතරම් ආශ්චර්යජනක, කීර්තිමත් විද්‍යාව ප්‍රතික්ෂේප කරන අමු පිස්සෙකු බවත්, විඥානවාදීයෙකු බවත්, පවසමින් ඔහුට ගැරහීමයි.

 

ඔහුට විවේචන ගෙන ආ මෙරට බොහෝ වාමාංශික කොටස් විචාරය සඳහා අල්ලා ගත්තේ ජාතිය, ජාතිකත්වය, ඊළාම් අරගලය වැනි ඔහුගේ ඉදිරිපත් කිරීම් වල ඔවුනට ගෝචර වන ස්ථානයන්ගෙන් පමණි. නමුත් කිසි විටකත් ඔහු නූතන විද්‍යාව (ඔහුට අනුව බටහිර විද්‍යාව) සම්බන්ධයෙන් ඔහුගේ ස්ථාවරය සමග කිසිවෙකුත් සාර්ථකව නොපැටලුන අතර පැටලුන කිහිප දෙනා ඔහුගේ නූතන විද්‍යාව පිළිබඳව අදහස ප්‍රශ්න කරන ලද්දේ සාම්ප්‍රදායික බුද්ධිවාදී ස්ථාවරයේ සිටය (උදාහරණයකට කාළෝ ෆොන්සේකා සහ වික්‍රමභාහු කරුණාරත්න).

 

 

නමුත් තේරුම්ගත යුතු කාරණය වන්නේ නලින්ගේ දේශපාලන ගොඩනැංවීම, එනම් “සිංහල බෞද්ධ ජාතිකත්වය” යන්න ව්‍යුත්පන්න වූයේ යථාර්තය පිළිබඳව ඔහුගේ ස්ථාවරය තුලය යන්නයි. ඔහු දිගින් දිගටම ප්‍රකාශ කරන ලද්දේ අපෙන් ස්වායත්ත වාස්තවික යථාර්තය නොපවතීය යන්නයි.

 

 

මගේ ලෝකය කෘතියේ පෙරවදනෙහි ඔහු මෙසේ සඳහන් කරයි:

 

“මම ජීවත්ව සිටින තාක් මම ලෝකයේ ම කොටසක් වෙමි. එසේ නම් මට බාහිර ව ලෝකයක් ගැන පැවසීම නිවැරදි ද? සමස්තය එහි කොටසකට බාහිර ව පැවතිය නො හැකිය. එබැවින් මගෙන් බාහිරව ලෝකයක් පවතී ය යන්න නිවැරදි නොවේ. එසේ නම් මා කිව යුත්තේ මගෙන් ස්වායත්ත ව ලෝකයක් පවතින බව ද?

ලෝකයේ කොටසක් ව මා ජීවත්වන තාක්කල් මා කරන කියන දෑ ලෝකයට ද බලපායි. ඒ බලපෑම නො සලකා හැරිය හැකි ප්‍රමාණයේ එකක් බව සැබෑ ය. එසේ වුවත් මා ලෝකයේ කොටසක් වීම නිසා ම ලෝකයට මගෙන් ස්වායත්ත විය හැකි නොවේ.”

 

ඔහු එම ස්ථාවරයට පැමිණියේ මාක්ස්වාදී දේශපාලන පක්ෂයකදී ඔහු විසින් ද දරා සිටි වාස්තවික යථාර්තය පිළිබඳව ස්ථාවරයෙන් පිටමන් වෙමිනි. නමුත් නලින් වැනි පුද්ගලයෙකු එවැනි විතැන් වීමකට ගමන් කලේ ඇයි ද යන්න පවා බරපතල ලෙස සලකා බැලීමට ඔහු සිටි දේශපාලන පක්ෂය හෝ සමත් නොවුනි.

 

@නන්දන පෙරේරා

විද්‍යාව පිළිබඳව ලකානියානු ස්ථාවරය 

ස්පාටකස් ලිපියට ලියූ පූර්ව සටහනක්.

ස්පාර්ටකස් ලිපිය වෙත ලින්කුව හරහා පිවිසෙන්න...

https://slleader.lk/social/12222-01-5

(ස්පාර්ටකස් සාමූහිකයේ වෙනත් ලිපි කියවීමට අවශ්‍ය නම්, https://www.spartacus.lk/

 වෙබ් අඩවිය වෙත පිවිසෙන්න)