SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

“මම ජීවත්ව සිටින තාක් මම ලෝකයේ ම කොටසක් වෙමි. එසේ නම් මට බාහිර ව ලෝකයක් ගැන පැවසීම නිවැරදි ද?

සමස්තය එහි කොටසකට බාහිර ව පැවතිය නො හැකිය. එබැවින් මගෙන් බාහිරව ලෝකයක් පවතී ය යන්න නිවැරදි නොවේ. එසේ නම් මා කිව යුත්තේ මගෙන් ස්වායත්ත ව ලෝකයක් පවතින බව ද?

ලෝකයේ කොටසක් ව මා ජීවත්වන තාක්කල් මා කරන කියන දෑ ලෝකයට ද බලපායි. ඒ බලපෑම නො සලකා හැරිය හැකි ප්‍රමාණයේ එකක් බව සැබෑ ය. එසේ වුවත් මා ලෝකයේ කොටසක් වීම නිසා ම ලෝකයට මගෙන් ස්වායත්ත විය හැකි නොවේ.”

- මගේ ලෝකය - නලින් ද සිල්වා

 

ආචාර්ය නලින් ද සිල්වා තම දිවි සැරිය හැරගොස් අදට (මැයි 02) වසරක් සපිරේ. මාලින්ද සෙනෙවිරත්න විසින් නලින් ද සිල්වා පිළිබඳව ඩේලි නිවුස් ඉංග්‍රීසි පුවත්පතට ලියූ ලිපියේ සිංහල  පරිවර්තනය නලින් ද සිල්වා අනුස්මරණය නිමිත්තෙන් පළකෙරේ.

 

 

මීට වසර විස්සකට පමණ පෙර, මම ‘දි අයිලන්ඩ්’ ඉරිදා පුවත්පතේ සේවය කළ සමයේ, අපේ සහෝදර පුවත්පත වූ දිවයිනේ මාධ්‍යවේදීන් සමඟ කතාබස් කිරීම සඳහා එහි කර්තෘ කාර්යාලයට ගොඩ වුනෙමි. මම එහි සේවය කළ තරුණ, මහලු සියලුම මාධ්‍යවේදීන් සමඟ කතාබහ කිරීමට ප්‍රිය කළෙමි. එවැනි එක් මොහොතක, ආචාර්ය නලින් ද සිල්වා තරමක් නොගැලපෙන ස්වරූපයකින් එහි මේසයක් අසල සිටගෙන සිටිනු මම දුටුවෙමි.

 

ඊට පෙර කිහිප වරක්ම මට ඔහුව මුණගැසී තිබිණි. මා ඔහුට ආචාර කළ විට ඔහු මාව හඳුනාගත්තේය. මේ කාලය ඔහු ‘දිවයින’ පුවත්පතට, ‘ද අයිලන්ඩ්’ පුවත්පතේ මිඩ්වීක් රිවීව් අතිරේකයට සහ මගේ මතකය නිවැරදි නම්,  ‘විදුසර’ පුවත්පතට, සතිපතා තීරු ලිපි ලියූ කාලයයි. ඉතින් මම ඔහුගෙන් සාමාන්‍ය ප්‍රශ්නයක් ඇසුවෙමි. ‘ඔයා ලිපියක් භාරදෙන්න ආවාද?’ මම සිංහලෙන් ප්‍රශ්නය ඇසූ අතර,  ඔහු ද ඊට සිංහලෙන්ම පිළිතුරු දුන්නේය.

 

‘නෑ මාලින්ද. මම මගේ ලිපිවලට ගෙවන දීමනාව අරන් යන්න ආවා. ඒක පොඩි මුදලක්. එයාලා මට නිතිපතා ගෙවන්නේ නැහැ (හරියට ගෙවන්නේ නෑ). ඒක මට ලොකු මුදලක් කියලා එයාලට තේරෙන්නේ නැහැ’. එය ඇසීමෙන් මම ශෝකයට පත්වීමි. ඒ වන විට කොළඹ විශ්වවිද්‍යාලයේ ගණිතය පිළිබඳ මහාචාර්යවරයා ලෙස සේවය කරමින් සිටි නලින්ව සේවයෙන් පහ කර තිබිණි. වසර ගණනාවකට පසු ඔහුව නැවත සේවයේ පිහිටුවන ලද නමුත්, එය වෙනම කතාවකි. ඒ වන විට ඔහු ඉතා අසීරු කාලයක් ගෙවමින් සිටියේ ය.

 

ආපසු හැරී බලන විට, නලින්ට එය කිසිසේත් ම පහසු යුගයක් නොවූ බව කිව හැකිය. මේ යුගයේදී, ඔහු කිසිදු ආකාරයක දේශපාලනික, දෘෂ්ටිවාදාත්මක, දාර්ශනික හෝ සදාචාරාත්මක අවංකත්වයකින් තොර පුද්ගලයින් වෙතින් දිගින්දිගටම අපහාසයට ලක් වෙමින් සිටියේය. ඔහු ලිව්වේය. කතා කළේය. ඔහු තම ස්ථාවරයේම රැඳී සිටිමින් තර්ක කළේය. ඔහු සත්‍ය මඟනොහැර, සෘජුව සහ අවංකව කතා කළ අතර, ඇතැම් විට ඔහු එය කළ යුතුව තිබුණේ ද එසේමය.

 

වසර තිහකට පමණ පෙර, කොළඹ සරසවියේදී මට ඔහුව මුණගැසු බව මතකය. ඒ මොහොතේ, මම මගේ චෙස් පුහුණුකරු සහ පවුලේ මිතුරෙකු වූ ඉංග්‍රීසි අධ්‍යනාංශයේ ආචාර්ය අර්ජුන පරාක්‍රම, සමඟ කතාබස් කරමින් සිටියෙමි. ඔවුන් දෙදෙනා ඒ මොහොතේ කුමක්දැයි යන්න සඳහන් නොකළ කිසියම් මාතෘකාවක් පිළිබඳව විවාදයක් පැවැත්වීම සඳහා කටයුතු සූදානම් කරගත් අතර,එහි සංවිධාන කටයුතු පිළිබඳව කතාබහ කළෝය. ඒ පිළිබඳව මගේ මතකයේ ඇත්තේ එපමණකි.

 

ඉන්පසු, ‘නලින්, අපි කාගෙවත් අතකොළු නොවෙන්න වගබලාගන්න ඕන’ යැයි අර්ජුන පැවසීය. කිසිවක් මිමිනූ නලීන් එතැනින් පිටව ගියේය. මට එය නෑසුණ බැවින් ඒ කුමක්දැයි මම අර්ජුනගෙන් ඇසීමි.

 

‘එයා කිව්වා මම දැනටමත් ඉත්තෙක් කියලා.’

 

අර්ජුන එය සංසුන්ව දරාගත්තේය. අර්ජුන නලින්ට වඩා බොහෝ අඩුවෙන් කතා කළ ද, ලිව්ව ද, ඔහු ද සිය ස්ථාවරයේම රැඳී සිටි පුද්ගලයෙකි. දෘෂ්ටිවාදාත්මකව සහ දේශපාලනිකව එකල මම අර්ජුනට වඩා නලින්ට සමීප වුව ද, එය කණගාටුවට කරුණක් බව ද, මම ඊට එක් කළ යුතුය.

 

 

මැයි දෙවන දිනට නලින් මිය ගොස් වසරක් සපිරේ. ජාතියට සහ එහි උරුමයට එල්ල වූ සියලු ආකාරයේ ප්‍රහාරවලට එරෙහිව ඔහු ඉදිරිපත් කළ තියුණු හා ප්‍රකාශිත තර්ක, ඔහුගේ සෙසු දෘෂ්ටිවාදී සගයන්ට නිසැකවම මග හැරී ඇති බැවින්, එය ඔහුගේ විරුද්ධවාදීන්ට විශාල සහනයකි. විශේෂයෙන් ඔහු දුටු 'සතුරා' මේ වන විට අවම වශයෙන්, බොහෝ දුරට ජයග්‍රහණය කර ඇති බව පැහැදිලිය.

 

 

දේශපාලන-දෘෂ්ටිවාදී විශ්වය තුළ මිනිසාගේ දැවැන්තබව අවිවාදිතය. ඔහු මාක්ස්වාදී, භෞතිකවාදී සහ නූතනවාදී උපකල්පනවල සියලු දෝෂවලින් ලංකාවේ රැඩිකල් තරුණයින් මුදා ගැනීම සඳහා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළේය. දේශපාලන දක්ෂිණාංශයේ පුනර්ජීවනය, නිසැකවම, මාක්ස්වාදීන්ට දැඩි පහරවල් එල්ල කළ ද, සිත්ගන්නා කරුණ නම්, විමුක්ති දේශපාලනය සම්බන්ධයෙන් නලින්ගේ මැදිහත්වීම්, 'පන්ති ව්‍යාපෘතිය' අතහැර දමා 'වාම' ලාංඡනය රඳවා ගැනීම වෙනුවෙන් සියලු ආකාරයේ අරමුණු වැළඳ ගත් මාක්ස්වාදීන් මෙන්ම, මාක්ස්වාදී පක්ෂ සහ කණ්ඩායම් ද, නිසැකවම දෘෂ්ටිවාදාත්මක නොසන්සුන්තාවයකට බඳුන් කිරීමය. අවසානයේ දී, එවැනි පුද්ගලයින් දක්ෂිණාංශික  දේශපාලන ව්‍යාපෘති සමඟ සුවපහසු ලෙස බද්ධ වීම විමතියට කරුණක් නොවීය. නලින්ගේ 'මගේ ලෝකය' කෘතිය ඔවුන් තුළ ගැඹුරු තුවාල ඇති කළ බව පැවසීම පමණක් ප්‍රමාණවත්ය.

 

ඇත්ත වශයෙන්ම මාක්ස්වාදීන්ට එරෙහිව මුලින්ම කතා කළ පුද්ගලයා නලීන් නොවූව ද, අවම වශයෙන් ලංකාවේ දී, නලීන්ගේ හඬ සරළව ප්‍රතික්ෂේප කිරීමට ඔවුන්ට නොහැකි විය. එවැනි විවාද, සමාජ පරිවර්තනයට අදාළ කතිකාවන් හී යම් ආකාරයක ප්‍රගතිශීලී පිම්මක් නිර්මාණය කිරීමට උපකාරී වූවා ද, නැති ද, යන්න එක් ආකාරයකින් හෝ වෙනත් ආකාරයකින් නිශ්චිතව පැවසීම දුෂ්කර ය. කෙසේ වුව ද, ඕනෑම බරපතල බුද්ධිමය අභ්‍යාසයක් විමුක්ති දේශපාලනය තුළ සාකච්ඡා කළ නොහැකි අංගයක් වන තාක් දුරට, නලින් ඔහුගේ කොටස සහ තවත් බොහෝ දේ ඉටු නොකළ බවට එකඟ වනු ඇත්තෙත් ස්වල්ප දෙනෙකු පමණි.

 

කෙසේ වෙතත්, ඔහුගේ අදහස්, ඒ වන විට වැරදි ලෙස සූත්‍රගත කර තිබූ 'ජාතික ප්‍රශ්නය'  වටහා ගැනීම සම්බන්ධයෙන් වඩාත් ඵලදායී විය. නලින් දෙමළ ස්වෝත්තමවාදීන්ගේ (Tamil chauvinists) ඓතිහාසික ප්‍රකාශ ක්‍රමානුකූලව නිෂ්ප්‍රභ කළ අතර, එම ක්‍රියාවලියේදී මාක්ස්වාදී/වාමාංශික ඇඳුමින් සැරසී සිටි ඔවුන්ගේ ක්ෂමාලාපකයින්ව (apologists) නිරුවත් කළේය. ගුණදාස අමරසේකර, එස්. එල් ගුණසේකර සහ තවත් අතලොස්සක් සමඟ න්‍යායාත්මකව දුගී වුවද, දේශපාලන හා ආර්ථික ශක්තියෙන් පොහොසත් 'සතුරෙකු' ලෙස නලින්ව,  සැලකූ බව කෙනෙකුට සිහිකරගත හැකිය.

 

 

මේ 1990 ගණන්වල දී ය. ඒ 'සිංහල' සහ 'බෞද්ධ' යන පද ජාතිවාදීන් (racists), ස්වෝත්තමවාදීන්, යුධ ලෝලීන් (warmongers) වැනි අය සමඟ සමපාත කිරීමේ අවදානම දරාගනිමින් පමණක් ප්‍රකාශ කළ හැකි වූ යුගයක් විය. සිත්ගන්නා කරුණ නම්, නලින්ට එරෙහිව නම් පට බඳිමින් අවලාද නැඟූ පුද්ගලයන්ට වෙනත් ප්‍රජාවන්ට අයත් වාර්ගික හා ආගමික ජාතිවාදීන්, ස්වෝත්තමවාදීන් සහ ත්‍රස්තවාදීන් සමඟ කිසිදු ගැටලුවක් නොතිබීමය.

 

 

දේශපාලන සංස්කෘතිය

 

අනූව දශකයේ දී ෆෙඩරල්වාදයට විරුද්ධ වන ඕනෑම අයෙකුට අපහාස කරන දේශපාලන සංස්කෘතියකින් ලංකාවේ පැවති අතර, නලීන් ඒ පිළිබඳව තැකීමක් කළේ නැත.  ඔහු පසුබට නොවීය. ඔහු නොනැවතී ලිව්වේය. සතියෙන් සතිය. වසරින් වසර, දශක ගණනාවක් පුරා ඔහු තම විරුද්ධවාදීන් සමඟ තනිව සටන් කළේය. බොහෝ දෙනෙකු සැක සහිත න්‍යාය පත්‍ර සහිත රාජ්‍ය නොවන සංවිධානවල සාමාජිකයන් වූ අතර, ඔවුන්ට මුදල් තිබිණි. නලින් විරුද්ධ මතවාදයන්ට දායක වූ පුද්ගලයන්ට බලයේ සිටින පුද්ගලයන්ගේ සහයෝගය ද ඇති පදමින් ලැබිණි. ඔවුන්ට දෘෂ්ටිවාදාත්මක අවකාශය ඉතා පහසුවෙන් පාලනය කළ හැකි රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය සඳහා ද පහසු ප්‍රවේශයක් තිබිණි. නලින් ලිව්වේ සිංහල පුවත්පත් කිහිපයකට පමණි. ඔහු ජය ගත්තේය. නැතහොත්, ඔහු ප්‍රචාරය කිරීමට උත්සාහ කළ අදහස් ජනමනස තුළ මුල් බැස ගත්තේය.

 

 

නලීන් නාථ දෙවියන් පිළිබඳ දැක්වූ අදහස් නිසා උපහාසයට ලක් විය. ඔහු ‘බටහිර විද්‍යාව, ආසනික් සහ දෙවියන්’ යන කෘතියෙන් ඊට ප්‍රතිචාර දැක්වීය. නලින්ට සිනාසුණු පුද්ගලයින් දේවවාදීන්, යුදෙව්-ක්‍රිස්තියානි ආගම්වලට දායක වීම ගැන කිසි විටෙකත් ප්‍රශ්න නොකිරීම අහම්බයක් නොවේ. ඒ සමඟම ඔවූහූ බටහිර විද්‍යාව දිව්‍ය ලියවිල්ලක්, අවසන් වදනක්, ලෙස ද, සලකති. බොහෝ කලකට පෙර බටහිර විද්‍යාව වෛෂයික යථාර්ථය (Objective reality) පිළිබඳ අදහස අතහැර දමා තිබුණද, ඔවූහූ  බටහිර විද්‍යාව ඉදිරියේ දණගසති.

 

 

නලින් දේශපාලන සංවිධානයක් ගොඩනැගීමට හෝ තම අදහස් පිළිගත යුතු බව ස්ථාපිත පක්ෂවලට ඒත්තු ගැන්වීමට උත්සාහ කිරීම සඳහා යම් ශක්තියක් වැය කළේය. ඒ අර්ථයෙන් ද ඔහු දේශපාලනික විය. ඔහුගේ දේශපාලන විරුද්ධවාදීන් අදාළ පක්ෂයේ පව් ද ඔහු මත පැටවීම හේතුවෙන් ඔහු අමතර දෝෂාරෝපණයකට ද, නිරාවරණය විය.  එවැන්නක් සිදු වීම, ඇත්ත වශයෙන්ම අපේක්ෂා කළ යුතු ව තිබිණි. කෙසේ වුවද, එවැනි ප්‍රහාරවලට බඳුන් නොවිය හැක්කේ දේශපාලන විචාරකයින් ස්වල්ප දෙනෙකුට පමණි.

 

කාටිසියානු තර්කනයට (Cartesian logic) එරෙහිව තර්ක කළ නලින්, ඇරිස්ටෝටලියානු ද්විගුණයට (Aristotelian two-fold) ප්‍රතිවිරුද්ධව සිව් ගුණයකින් යුත් 'චතුස්කෝටික' (four-fold) විමර්ශන ක්‍රමය යෝජනා කළ අතර, 'මාක්ස්වාදයේ දරිද්‍රතාව' සහ 'අපෝහකයේ රූපිකය' යන ග්‍රන්ථවල ඔහු මාක්ස්වාදයේ ප්‍රධාන සංකල්ප පිළිබඳ ගැටලු මතු කරමින්, මාක්ස්වාදී අපෝහකය (Marxist dialectics) නිෂ්ප්‍රභ කර, මාක්ස්වාදී විද්වතුන්ට මෙන්ම, ක්‍රියාකාරීත්වයට වඩා සටන් පාඨ විශේෂ අයිතිවාසිකම් ලෙස සැලකූ පුද්ලයන්ට පවා ප්‍රයෝජනවත් වන අවශ්‍ය මැදිහත්වීම් ඉදිරිපත් කළේය.

 

 

දේශපාලන භාවිතය සම්බන්ධයෙන් ඔහු බොහෝ විට උපුටාගැනීම් කරනුයේ කාටිසියානු තර්කනයෙන්ය. සමහර විට ඊට හේතු වන්නට ඇත්තේ තරුණ වියේදී ට්‍රොට්ස්කිවාදය (Trotskyism) සමඟ පැවති ඔහුගේ සබඳතාවයේ නටඹුන් විය හැකිය. ඔහු වර්ධනය කළ පොහොසත් හා සංකීර්ණ තර්කන පද්ධතිය කණගාටුදායක සහ පරස්පර විරෝධී වීම සිදුවන්නේ, සිය තරුණ වියේදී, ට්‍රොට්ස්කිවාදය නිෂ්ප්‍රභ කිරීමට ඔහු දැරූ උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙසය.

 

 

ඔහු පරිපූර්ණත්වයෙන් බොහෝ දුරස් විය. එහෙත් ඔහු මුලුමනින්ම අවංක විය. බොහෝ අය මෙන්, පෞද්ගලික ප්‍රතිලාභ අපේක්ෂාවෙන් ඔහු තම විශ්වාසයන් පාවා දුන්නේ නැත. ‘දිවයින’ කාර්යාලයේ දී සිදු වූ එම හමුවීමේ ප්‍රතිරූපය මගේ මනසේ ගැඹුරින් කාවැදී ඇත්තේ මේ නිසාය. ඔහුට සමච්චල් කිරීමෙන් සතුටක් ලැබූ පුද්ගලයන් හා සසඳන විට, ඔහු මුලුමනින්ම දුගී විය. ඔහු පසුගිය වසර 50 ක හෝ ඊටත් වඩා වැඩි කාලයකදී ලංකාව දුටු  පොහොසත්ම මනස් සහිත පුද්ගලයන්ගෙන් කෙනෙකු විය. ඔහු වෙනසක් සිදු කළ අතර, ඉදිරි කාලයේ දී ඔහුගේ අදහස් දෘෂ්ටිවාදාත්මක විවාද සඳහා මෙන්ම, ඒවායේ ප්‍රතිඵලයක් ලෙස මතු වන දේශපාලන භාවිතයන් සඳහා ද නොනැවතී දායක විය හැකිය.

 

 

නලින් ද සිල්වා ප්‍රශංසා හෝ දෝෂාරෝපණවලට බිය නොවීය. ලේඛනය සඳහා සංකීර්ණ විෂයන් තෝරා ගත්ත ද, ඔහු සරල ජීවිතයක් ගත කළේය. ඔහු බොහෝ බීජ රෝපණය කළේය. ඒවා ටිකෙන් ටික උස ගස් බවට පත්වනු ඇත.

 

 

@මාලින්ද සෙනෙවිරත්න (නිදහස් ලේඛකයෙකි)

This email address is being protected from spambots. You need JavaScript enabled to view it..

Daily news පුවත්පතේ පළවූ ලිපියේ සිංහල පරිවර්තනය