1991 හෝ 1992 වසරේ පමණ මාතර පැවති කලා සංවාදයකදී ඩබ්ලිව් ජයසිරි විසින් පැවසූයේ
ලංකාවේ මිනිසුන් ගීත අසා නොමැති බවත්, ඔවුන් අසා ඇත්තේ සටන් පාඨ බවත්ය. ඔහු ගීතයක් සඳහා උදාහරණයට ගත්තේ "බඹරු ඇවිත් චිත්‍රපටයේ උදුම්බරා හිනහෙනවා" යන ජයසිරි විසින්ම ලියන ලද ගීතයයි. එහි සංගීත අධ්‍යක්ෂක ප්‍රේමසිරි කේමදාස මෙන්ම එහි ගායකයින් වූ ටී. එම්. ජයරත්න, අයිවෝ ඩෙනිස්, අමරසිරි පීරිස් වැනි අය ද එදින සංවාදයට සහභාගී වී සිටියෝය.
ජයසිරිගෙන් පසුව සභාව ඇමතූ කේමදාස ද ජයසිරිගේ අදහස තහවුරු කරමින් අදහස් දැක් වූ අතර ඔහු එය තහවුරු කිරීම සඳහා අදාළ ගීතය විශ්ලේෂණය කර පෙන්වීය (අතරතුර එය ගායනා කිරීමට ටී. එම්. ජයරත්නට, අමරසිරි පීරිස්ට සහ අය්වෝ ඩෙනිස්ට නියෝග කළේය). කේමදාස විසින් තම අදහස තහවුරු කිරීම සඳහා ගත් තවත් උදාහරණයක් වූයේ ඔහුගේ සංගීත නිර්මාණයක් වූ නන්දා මාලනීගේ "අම්මාවරුනේ" ගීතයයි.
ඔවුන් නොකියා කීවේ නන්දා මාලනීගේ "පවන" ගැනය. එහි ඇති සුවිශේෂීභාවය වන්නේ එහි අඩංගු ගායනා සාම්ප්‍රදායික අර්ථයෙන් ගීත ලෙස හැඳින්විය නොහැකි වීමයි (ගුණදාස කපුගේ පැවත් වූ "කම්පන" ප්‍රසංගයේ මේ අකාරයේ ගීත නොමැත).
ජයසිරිලා කියූ කතාව සැබෑය. පවන යනු ඔවුන් අදහස් කරන අර්ථයෙන් ගීත නොවේ. නන්දාගේ පවන යනු සංගීතය සමග මුසු වූ සටන් පාඨ, සන්ටන්කාමී සහ ප්‍රචණ්ඩකාමී නියෝග, සහ පැවති තත්වයට එරෙහිව ප්‍රචණ්ඩව සටන් කල යුතු ආකාරයන්ය.
"පවනේ" හඬ හුදු පදවල අර්ථය රැගෙන යන මාධ්‍යයක් නොව, අසන්නාගෙන් යම් ක්‍රියාවක් ඉල්ලා සිටින නිරෝධාඥාවක් (injunction) ලෙස කියවිය හැකිය (ලකානියානු අර්ථයෙන් "හඬ" 'ආශාවේ වස්තු හේතුවහි'/object petit a එක් ආකාරයක් වන අතර, සුපර් ඊගොවේ අණ ක්‍රියාත්මක වන විශේෂ මාධ්‍යයක් ලෙසද එය ක්‍රියා කළ හැකිය). අරගලය, කැප කරන්න, පූජා කරන්න, සහ මරණය යන 'හැඟවුම්කාරක' හරහා අසන්නාගේ 'ප්‍රමෝදය' (jouissance) මරණය හා ප්‍රචණ්ඩත්වය වටා සංවිධානය කළ හැකි ආකාරයේ 'ධාවකයක්' (drive) සංවිධානය කිරීමට "පවනේ" හඬට හැකි විය.
ප්‍රසංගය ආරම්භ වන්නේ, එනම් සභාව ආමන්ත්‍රණය කරන්නේ "ඔබ මට කුමුදෙක්මැයි" ගීතයෙනි. එහි මෙසේ සඳහන්ය.
"ඔබ මට පැනසෙක්මැයි මා දෙසේ දොස් දකින්ටා,
ඔබ මට අවියෙක්මැයි ඒ දොසේ මුල් සිඳින්ටා,
ඔබ මට බුදදස්මැයි රෝග පීඩා සොයන්ටා,
ඔබ මට ඔසුවෙක්මැයි රෝ නිධානෙ තබන්ටා."
එවිට "පවනේ" ආරම්භයේදීම කතෘ හෝ කතා කරන්නා (speaker) සහ 'අනෙකා' (Other) අතර සම්බන්ධය සංස්ථාපනය කරයි. එබැවින් මෙහි “ඔබ” යනු සරලව ප්‍රේක්ෂකයින් නොව, 'කතිකාව' (discourse) ආමන්ත්‍රණය කරන 'අනෙකා' ලෙස සැලකිය හැකිය. මෙය "පවනේ" ඇති විශ්ටතම අංගයයි.
දෙවන ගීතය කතෘත්වය ගැනයි. එය ආරම්භ වන්නේ මෙසේය.
"සාධු ජන ගණ මනා සබා ගැබ හොබවනා
දැහැන් ගත නොවී මා ගීතයෙන්
සිටින් පුටු කබල් මත සීරුවෙන්
ලී යකඩ ගොඩවල් ය වැයෙන්නේ
කටුක පද පෙළවල් ය ගැයෙන්නේ
ඩා දියයි ගත පුරා ගලන්නේ
මිනිසුන් ය ගයන්නේ වයන්නේ"
ඉන් පසුව මුළු ගීතය තුලම අඩංගු වන්නේ මේ ගායනා කවීන්ගේ (කලා කරුවන්) රචනා නොව දුකට පත් මිනිසුන් තුලින් පැමිණෙන රළු හඬ බවත්, ගී ගයන තමන් ද එවැනිම සාමාන්‍ය ගැහැනියක් බවත්ය. එසේම ඉන් පසු පද පෙලකින් කියවෙන්නේ කලාවේ පවතින සම්ප්‍රදායික සීමා, ශිෂ්ට සම්පන්න නීති, සුකොමළ බව හෝ සාමකාමී ස්වභාව තම ප්‍රකාශනයට බාදාවක් නම් එය චණ්ඩ මැරවරියක්ව බිඳ දමන බවයි ("කලා මර්යාද බිඳින්නට වී නම් මට බිඳ හළෙමි සැහැසි ලෙස චණ්ඩ මැරවරියක් ව").
ඉන් පවසන්නේ “මම කලාකාරියක්”ය යන සාම්ප්‍රදායික ආස්ථානය ප්‍රතික්ෂේප කිරීමයි. මෙය ආත්මයේ (subject) උච්චාරණ ස්ථානයේ පැහැදිලි වෙනසකි. “මම ගායිකාවක්; ඔබ රසවිඳින්න” යනුවෙන් නන්දා නොපවසයි. ඒ වෙනුවට ඇය පවසන්නේ “මේ හඬ මගේ පෞද්ගලික සෞන්දර්යාත්මක ප්‍රකාශනයක් නොව, ඔබේ දුකේ, විඳවීමේ මනුෂ්‍යන්ගේ හඬයි.” යන්නයි.
ලකානියානු අර්ථයෙන් 'කතිකාව' (discourse) යනු සරලව “කෙනෙක් කියන දේ” නොව, 'ආත්මය' (subject), 'හැඟවුම්කාරකය' (signifier), 'දැනුම' (knowledge) සහ 'ප්‍රමෝදය' (jouissance) අතර සමාජ බැඳීමක් සංවිධානය කරන ව්‍යුහයකි. 'ස්වාමි කතිකාව' (master discourse) තුල නොපිහිටා කටයුතු කිරීමට ප්‍රසංගයේ ආරම්භය ලබා ගත්ත ද පසුව ඉන් බැහැර වීමට අනෙකුත් ගීත වලට යම් මට්ටමකින් අපහසු වේ.
"පවන" ප්‍රසංගයේ මුල් ආරම්භය එසේ වුව ද එහි අඩංගු අනෙකුත් ගීත යම් යම් මමට්ටම් වලින් 'ස්වාමි කතිකාවක්' තුල ස්ථාන ගත වී "දැනුමට" ආමන්ත්‍රණය කරයි. එය ප්‍රසංගයේ පමණක් නොව නන්දා මාලනිගේ මෙන්ම සුනිල් ආරියරත්නගේ දේශපාලන ආස්ථානය තුල ද ප්‍රකට වන්නකි.
ඒ කෙසේ වෙතත්, ඒවා සාම්ප්‍රදායික අර්ථයෙන් ගීත ලෙස සැලකිය නොහැක. ගීත (කලාව) යනු “එය තුලින් අසන්නා හට යමක් අත්විඳීමට, සිතීමට, ඇසීමට ඉඩ දීමයි නම් සටන් පාඨ යනු “මේකයි සත්‍යය, මෙය පිළිගන්න, මේ වෙනුවෙන් ක්‍රියා කරන්න, යන්නයි ("පවන", "සත්‍යයේ ගීතය")
ගායක ගායිකාවන් මිය ගිය පසුව සාමාන්‍යයෙන් ඔවුන්ට කිසිවෙකුත් බනිනු, අපහාස කරනු හෝ චෝදනා කරනු දැකගන්නට ලැබෙනුයේ ඉතා කලාතුරකිනි. නමුත් නන්දා මිය ගිය දිනයේ පටන්ම ඇය කෙරෙහි ද්වේශයෙන් සටහන් තබන අය සමාජ මාධ්‍ය තුල දැකගත හැකිය. එසේ වී ඇත්තේ ඉහත සඳහන් කල වෙනස හේතුවෙනි.
"පවන" ප්‍රසංග මාලාව ආරම්භ වූයේ 1987 වර්ෂයේ ජූනි මාසයේදීය. ගීත 18ක් ඇතුළත් "පවන" ප්‍රථම කැසට් පටය ද 1987 ජූනි මාසයේදීම නිකුත් විය. එකල එය අතිශය ජනප්‍රිය විය. එය පැවැත් වූ සෑම ස්ථානයකම නරඹන්නන්ගෙන් සම්පූර්ණයෙන්ම පිරුණි. එය නැරඹු එකල 8 සිසුවෙකු ප්‍රකාශ කලේ "නන්දා මාලනී දෙවියන්ට බැන්න" බවය. ඔහු පැවසූයේ "දනන් රුහිරු බී" ගායනය ගැනය.
දැඩි මර්දනය හමුවේ වුව ද මේ ප්‍රසංග සංවිධානය කිරීමට ඉදිරිපත් වූ පිරිස් එකල නොසිටියේ නම් 1987-1988 කාලය තුල රට පුරා ප්‍රසංග 205ක් පැවැත්වීමට නොහැකි වනු ඇත (නන්දාට සහ සුනිල්ට එල්ල වන ප්‍රධාන චෝදනාවක් වන්නේ එකල පැවති තත්වය උපයෝගී කරගනිමින් ඔවුන් මුදල් උපයාගත් බවය).
1990 අවසන් වනවිට කොමියුනිස්ට් නැගෙනහිර ජර්මනිය නිල වශයෙන් බිඳ වැටී අවසන් විය. 1991 දෙසැම්බර් වන විට සෝවියට් සංගමය බිඳවැටුණි. ඉන් පසු "පවන", "කම්පන", හෝ වෙනත් එවැනි සංවාදයන් මෙන්ම වාමාංශික කතිකාවද ක්‍රමක්‍රමයෙන් නිවී යාම ආරම්භ විය. සෝවියට් සංගමය ඇතුළු රාජ්‍යයන් බිඳ වැටී ධනවාදයට ගමන් කිරීමත්, මාවෝවාදී සමාජවාදී රාජ්‍යයන් කොම්යුනිස්ට් පක්ෂ පාලනය යටතේම ධනවාදයට ගමන් කිරීමත් ඊට හේතු විය (විප්ලවය යනු ඓතිහාසික නියතියක්ය යන විශ්වාසය තහවුරු කළ සංකේතීය ආධාරකය අහිමි වූ විට, 'පවන' හෝ 'කම්පන' නියෝජනය කළ ලිබිඩෝමය ආයෝජනය-libidinal investment වියැකී ගියේය).
සෝවියට් සංගමය, සමාජවාදී රාජ්‍ය පද්ධතිය, මාක්ස් ලෙනින්වාදී විප්ලවය, ඉතිහාසයේ සමාජවාදී අනීවර්යතාවය සහ අනාගතය යනාදිය එකට ගොඩනැගූ සංකේතීය ක්ෂේත්‍රය වාමාංශික ආත්මය සඳහා 'මහා අනෙකාගේ' (big Other) ස්ථානයක් ලෙස ක්‍රියා කළේය.
එම රාජ්‍යයන් බිඳ වැටීමෙන් පසු නැගුන ප්‍රශ්නය වූයේ, “අපේ දේශපාලන විශ්වාසයන් අවසානයේදී සහතික කරන්නේ කුමන සංකේතීය අධිකාරිය විසින්ද" යන්නයි. එනම්, වාමාංශික ව්‍යාපෘතියේ ක්‍රියාවන් වලට අවසාන අර්ථය සහ වලංගුභාවය ලබා දුන් සංකේතීය ව්‍යුහය ලෙස ක්‍රියා කලේ එම රාජ්‍යයන්ය.
එම සංකේතීය සහතික කිරීමේ අර්බුදය සමඟ ආත්මයේ 'ආශාව' (desire) සංවිධානය කළ "කතිකාමය යාන්ත්‍රනය" මේ වන විට වෙනස් වී තිබේ.

1991 හෝ 1992 වසරේ පැවති ඉහතින් සඳහන් කල සංවාදය පැවති ස්ථානය වූ මාතර YMB ශාලාවේ ඉඩ මදි වන තරමට එදින එය පිරී ගොස් තිබුණි. නමුත් අද එවැනි සංවාදයක් සංවිධානය කළහොත් සිටිනු ඇත්තේ සංවිධානය කරන දෙතුන් දෙනා පමණි. එසේ වන්නේ වාමාංශික කතිකාව නිවී ගොස් ඒ වෙනුවට 'ධනවාදී කතිකාව' උත්කර්ශවත් ලෙස සංස්ථාපනය වී ඇති බැවිනි. අද තරුණ තරුණියන් සමාජ මාධ්‍ය ඔස්සේ ආකර්ෂණය වී ඇත්තේ ධනනාත් ප්‍රනාන්දු වැනි අයටය.
ධනවාදී කතිකාව සැම විටම ආත්මයට පවසන්නේ,
“ඔබට අඩු දෙයක් තියෙනවා.
තව එකක් ගන්න.
තව දැනගන්න (ඉගෙන ගන්න).
තව ඉහළට යන්න.
තව අත්දැකීම් ලබා ගන්න.
ඔබේ විභව්‍යතාවය සාක්ෂාත් කරගන්න.” යන්නයි.
බැලූ බැල්මට පෙනී යන ආකාරයට මෙය නියෝගයක් නොවන බව මුත්, එය අතිශය බලවත් නියෝගයකි.
“ප්‍රමෝදයට පත්වන්න! (enjoy!) යන නිරෝධාඥාවම (injunction) 'ධනවාදී කතිකාවේ' විරුද්ධාබාසි නියෝගයකි.
එබැවින්, 1987 කාලයේ “අරගල කරන්න!”, “අපි පීඩිත ජනතාවක්; අපට විමුක්තිය අවශ්‍යයි.” යන සංකේතීය ඛණ්ඩාංක තුළ 'ආශාව' සංවිධානය විය. වර්තමානය (2026) “ඔබේ ජීවිතය උපරිම කරගන්න! (මට තව සාර්ථක විය යුතුයි; මට තව උපයන්න අවශ්‍යයි; මට මාවම වර්ධනය කරගන්න අවශ්‍යයි,” යන සංකේතීය ඛණ්ඩාංක තුළ 'ආශාව' සංවිධානය වේ. මේ දෙකම නියෝගයන් තුල ක්‍රියාත්මක වුවා සහ වෙමින් තිබේ.
ඒ අනුව "පවන" යනු සෞන්දර්යාත්මක ආකෘතිය, දේශපාලන කතිකාව, සංකේතීය අනන්‍යකරණය, සාමූහික ආස්වාදය යන සියල්ලේ එකතුවකි.
මින් අදහස් කරන්නේ වාමාංශික කතිකාව නැවත පැරණි අර්ථයෙන් ගොඩනැගිය යුතු බව නොවේ. එසේම කලාව අවශ්‍ය බව ද නොවේ. සෑම සෞන්දර්යයක්ම කිසියම් "දෘෂ්ටිවාදී ෆැන්ටසියක්" (ideological fantasy) මත ගොඩනැගේ. එම අර්ථයෙන් "පවන" යනු දේශපාලන ප්‍රචණ්ඩත්වය සෞන්දර්යකරණය කළ විශිෂ්ට දෘෂ්ටිවාදී කලාවකි.
නන්දා මාලනීට එරෙහිව අද එල්ල වන ද්වේශයට හේතු වන්නේ එකල තරුණ පරපුර ඇගේ හඬ හරහා අත්විඳි මාරාන්තික 'ප්‍රමෝදය සහ ඉන් ඇති වූ ක්ෂිතියයි. නන්දාගේ හඬ සමඟ කලක් තමන්ව අනන්‍ය කරගත් කෙනෙකුට, පසුව එම සංකේතීය විශ්වය ප්‍රතික්ෂේප කිරීමේදී එම හඬම තමන්ගේ අතීත දේශපාලන ප්‍රමෝදය, වරදකාරීත්වය සහ අසාර්ථක වූ අනන්‍යතාවය වැනි කාරනයන්හි ඉතිරිවූ සලකුණක් ලෙස අත්විඳිය හැකිය. එවිට එයට එරෙහි ද්වේශය එම වස්තුව (නන්දා/පවන) සමඟ ඇති සම්බන්ධය සම්පූර්ණයෙන් බිඳ දැමීමක් නොව, එය වෙනත් ආකාරයකින් පවත්වාගෙන යාමක් විය හැකිය.
නන්දා මිය යන්නේ, ඇය ගායනා කරන කාලයේ සිටි අරගලයට සහභාගී වූ සහ ඊට පක්ෂ වූ තරුණ පරපුරේ උරුමය ඇති පක්ෂය බලය ලබා ගෙන තිබුනද විද්‍යාව, තාක්ෂනය සහ වෙළඳපොළ විසින් සියල්ල විසඳනු ඇත! යන නව-ලිබරල් ෆැන්ටසිය වැළඳගෙන තිබෙන තරුණ පරපුරක් බිහිව ඇති සමාජයකය. එම පක්ෂය ද එම දෘෂ්ටිවාදය වැළඳගෙන තිබේ. එම පක්ෂයට එම දෘෂ්ටිවාදයට ගමන් කිරීමට අපහසු නොවූයේ වාමාංශික දෘෂ්ටිවාදය තුලම ඊට අදාළ පදනම් තිබූ බැවිනි. ඒ කෙසේ වෙතත් මෙය දෘෂ්ටිවාදයේ අවසානය නොව, වඩාත් නරුමවාදී දෘෂ්ටිවාදයකට මාරු වීමකි.
@ස්පාටකස් ලිපි
Right to Reply
As a responsible media organization, we strictly uphold the "Right to Reply". If you or your organization are mentioned in any of our articles and wish to express an objection, share a different perspective, or provide a factual clarification, you have the right to do so. We are committed to fair and balanced journalism.
Please submit your responses or clarifications to:
[This email address is being protected from spambots. You need JavaScript enabled to view it. / whatsapp 0774945996]
Editor's mail - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

