"ඇපය ඩොලර්" කිව්වට සැඟවුණු ගණන් හිලව් කෝ?
ශ්රී ලංකාවේ ප්රධානතම රාජ්ය බැංකුවක් වන මහජන බැංකුව සහ මෙරට
මූල්ය දැවැන්තයෙකු වන LOLC සමූහය අතර සිදුවූ බව කියන රුපියල් බිලියන 20ක දැවැන්ත මූල්ය ගනුදෙනුවක් මේ දිනවල මෙරට මූල්ය ක්ෂේත්රය තුළ දැඩි කම්පනයක් නිර්මාණය කර තිබේ. බැලූ බැල්මට මෙය තවත් එක් දැවැන්ත ආයතනික ණය ගනුදෙනුවක් සේ පෙනුණද, ඊට අදාළව පාර්ශ්ව කිහිපයක් නිකුත් කරන පරස්පර විරෝධී ප්රකාශ හේතුවෙන් මෙය මේ වන විට නිරාකරණය කළ යුතු බරපතළ මූල්ය අභිරහසක් බවට පත්ව ඇත.
ගින්නට මුල් වූ රහසිගත ලේඛනය
මෙම ආන්දෝලනයට වෙඩි මුරය තැබුණේ අන්තර්ජාලයට කාන්දු වූ එක්තරා ලේඛනයක් හරහාය. එය 2026 සැප්තැම්බර් 04 වන දින LOLC Mauritius Holdings Limited සමාගමේ අධ්යක්ෂ මණ්ඩලය විසින් සම්මත කරන ලද යෝජනාවකි. අදාළ ලේඛනයට අනුව, LOLC Holdings PLC වෙත මහජන බැංකුවෙන් රුපියල් බිලියන 20ක් දක්වා වූ කෙටිකාලීන ණය පහසුකමක් (Short Term Loan) ලබාගැනීමට යෝජනා වී තිබිණි.
එම මහා පරිමාණ ණය මුදල සඳහා ඇපයක් ලෙස යොදාගැනීමට නියමිතව තිබුණේ LOLC Mauritius Holdings Limited සමාගම සතු ඇමරිකානු ඩොලර් ස්ථිර තැන්පතුවකි. ලබාගන්නා අදාළ කෙටිකාලීන ණය වටිනාකමෙන් 100%ක්ම ආවරණය වන පරිදි එක් එක් අවස්ථාව අනුව මෙම ඇපය ලබා දෙන බවද එහි ඉතා පැහැදිලිව සටහන් වී තිබුණි.
මහජන බැංකුවේ ප්රතික්ෂේප කිරීම සහ LOLC හි හදිසි නිවේදනය
ලේඛනය කරළියට පැමිණීමත් සමඟම ඊට මහජන බැංකුවේ ඉහළම පුටුවෙන් මාධ්ය වෙත ලැබී තිබුණේ අනපේක්ෂිත ප්රතිචාරයකි. අදාළ ලියවිල්ලේ ඇති තොරතුරු සහ බැංකුව සතු තොරතුරු අතර දැනට කිසිදු ගැළපීමක් නොමැති බව පවසමින් බැංකුවේ සභාපතිවරයා මෙම ගනුදෙනුව සම්බන්ධ සැකය තවත් තීව්ර කළේය.
එහෙත්, කතාව එතැනින් නිමවූයේ නැත. දිගින් දිගටම එල්ල වූ සමාජ මාධ්ය ප්රහාර හමුවේ LOLC සමාගම විශේෂ මහජන නිවේදනයක් නිකුත් කරමින් සමාජය තුළ ගොඩනැගී ඇති මතය සම්පූර්ණයෙන්ම ප්රතික්ෂේප කිරීමට පියවර ගත්තේය.
ඔවුන් සිය නිවේදනයෙන් අවධාරණය කළේ, අදාළ දේශීය මුදල් ණය පහසුකම සම්පූර්ණයෙන්ම සුරක්ෂිත වී ඇත්තේ මහජන බැංකුවේම පවත්වාගෙන යන අමෙරිකානු ඩොලර් තැන්පතුවක් මත බවයි. තමන් සතු විදේශ විනිමය වත්කම් රුපියල් බවට පත් නොකර, එහි වටිනාකම භාවිත කරමින් දේශීයව අරමුදල් රැස්කිරීම බහුජාතික සමාගම් විසින් ගෝලීය වශයෙන් භාවිත කරන සාමාන්ය මූල්ය කළමනාකරණ ක්රමවේදයක් බවද සමාගම එහි පෙන්වා දෙයි.
නෛතික තිරයෙන් වැසෙන අඳුරු කලාපය -
සැඟවුණු ඇත්ත කුමක්ද?
ආයතනික නීතිය සහ ජාත්යන්තර මූල්ය සම්ප්රදායන්ට අනුව, විදේශීය අනුබද්ධ සමාගමක ඩොලර් වත්කම් මව් සමාගමේ දේශීය ණය අවශ්යතා සඳහා ඇපයට තැබීම නීති විරෝධී ක්රියාවක් නොවේ. එහෙත්, මෙම ගනුදෙනුවේ සැබෑ අර්බුදය පවතින්නේ එහි "විනිවිදභාවය" තුළය.
සැබෑ ණය මුදල කොපමණද?:-
LOLC සමාගම අදාළ ණය පහසුකමේ ඇපයේ ස්වභාවය පිළිබඳව දීර්ඝව කරුණු දැක්වූවද, රුපියල් බිලියන 20ක උපරිම ණය සීමාවෙන් මේ වන විට සැබෑවටම ලබාගෙන ඇති මුදල කොපමණද යන්න හෙළිදරව් කර නැත.
ඩොලර් ඇපයේ සැබෑ වටිනාකම:-
ණය මුදලට සරිලන සේ ඇපයට තබා ඇති බව කියන අදාළ ඩොලර් තැන්පතුවේ සැබෑ වටිනාකම කොපමණද? එම තැන්පතුව ශ්රී ලංකාවේ ආර්ථිකයට බලපාන අයුරින් ද්රවශීලිත කළ හැකි එකක්ද සහ Mauritius වල ඔවුන් සතුව ඇති වත්කම කොපමණද? (මේ පිළිබඳ කිසිදු අනාවරණයක් නැත) යන ප්රශ්නයන්ට තවමත් සෘජු පිළිතුරක් ලැබී නොමැත.
පරස්පර ප්රකාශ:-
මහජන බැංකුවේ සභාපතිවරයා පවසන පරිදි ලේඛනවල පරස්පරතාවක් තිබේ නම්, LOLC සමාගම පවසන තරම් මෙම ගනුදෙනුව "ඉතා සරල සහ පැහැදිලි" එකක් වන්නේ කෙසේද?
නීතිමය තර්ජනවලින් මහජන විශ්වාසය දිනිය හැකිද?
තමන්ට එරෙහිව අසත්ය සහ විකෘති තොරතුරු පතුරවන්නන්ට එරෙහිව පවතින නෛතික ප්රතිපාදන යටතේ අදාළ පුද්ගලයන්ට හා සංවිධානවලට එරෙහිව දැඩි පියවර ගන්නා බවට LOLC සමාගම සිය නිවේදනයෙන් අනතුරු අඟවා තිබේ.
සමාගමකට සිය කීර්තිනාමය ආරක්ෂා කර ගැනීමට නීතිමය පියවර ගැනීමේ පූර්ණ අයිතිය ඇත. එහෙත්, මෙරට සාමාන්ය ජනතාවගේ මුදල් සංසරණය වන ප්රධානතම රාජ්ය බැංකුවක් සමඟ සිදුවන මෙවැනි මහා පරිමාණ ගනුදෙනුවකදී හුදෙක් නීතිමය තර්ජන මගින් පමණක් මහජනතාවගේ ප්රශ්න කිරීම් යටපත් කළ නොහැක. ආයතනික නීතිය යටතේ මෙම ගනුදෙනුව කොතරම් නිවැරදි වුවද, සමස්ත මූල්ය ක්ෂේත්රයේම විශ්වාසය තහවුරු වීමට නම් මෙම ගනුදෙනුවේ සැඟවුණු මූල්ය දත්ත සහ සැබෑ කොන්දේසි වහාම ප්රසිද්ධියට පත් කිරීම අත්යවශ්ය වේ.
මාධ්ය මේ සම්බන්ධ මෙතරම් ගැටුමකට යන්නේ ඔවුන්ට අදාල ලේඛන සාක්ෂි ඇති නිසා බව LOLC අධ්යක්ෂ මණ්ඩලයද දන්නා බව නොරහසකි. ඉදිරියේදී ඒ සාක්ෂිද එළියට එනු ඇත. නීතියට මුවා වී සංඛ්යා දත්ත වසන් කිරීම, විසඳුමකට වඩා ගැටලුව තවත් සංකීර්ණ කරන්නක් බව අදාළ පාර්ශ්වයන් වටහාගත යුතුව ඇත.
# නිරෝමි සුබ්රමනියම්
සබැඳි ලිපි -
https://slleader.lk/news/14465-lolc-mauritius-20LOLC Mauritius සහ බිලියන 20ක ආන්දෝලනය! මෙය හුදු ණය ඉල්ලීමක්ද? නැතහොත් මූල්යමය ප්රයෝගයක්ද?
Right to Reply
As a responsible media organization, we strictly uphold the "Right to Reply". If you or your organization are mentioned in any of our articles and wish to express an objection, share a different perspective, or provide a factual clarification, you have the right to do so. We are committed to fair and balanced journalism.
Please submit your responses or clarifications to:
[This email address is being protected from spambots. You need JavaScript enabled to view it. / whatsapp 0774945996]
Editor's mail - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

