නව ව්යවස්ථාව, පළාත් සභා ඡන්දය සහ ඉන්දියාවේ හෙවනැල්ල.
ආණ්ඩුවේ භූ-දේශපාලනික කඹයේ යාම
ශ්රී ලංකාවේ දේශපාලන පිටිය මේ මොහොතේ ගමන් කරමින් සිටින්නේ අතිශය සංකීර්ණ
මංසන්ධියක් කරාය. එකිනෙකට පරස්පර කාරණා තුනක් මේ වන විට දේශපාලන කරළියේ ගැටෙමින් පවතී. ඒ, ජනවාරියේ ඇරඹෙන නව ආණ්ඩුක්රම ව්යවස්ථා සාකච්ඡා, අගෝස්තුවේ පැවැත්වීමට යෝජිත පළාත් සභා මැතිවරණය සහ ජවිපෙ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වාගේ ඉන්දීය සංචාරය හරහා මතුවන භූ-දේශපාලනික බලපෑමයි.
පිටතින් බලන විට මේවා වෙන වෙනම සිදුවන දේශපාලන ක්රියාවලීන් සේ පෙනුණද, යථාර්ථය නම් මේ සියල්ල එකම දම්වැලක පුරුක් බවයි.
ජනවාරියේ ව්යවස්ථාව සහ අගෝස්තුවේ ඡන්දය
ප්රමුඛතාව කුමක්ද?
ජාතික ජන බලවේගය බලයට පැමිණියේ නව ආණ්ඩුක්රම ව්යවස්ථාවක් ගෙන එන බවට වූ ප්රබල පොරොන්දුවක් සමඟිනි. NPP ප්රධාන ලේකම් නිහාල් අබේසිංහ තහවුරු කර ඇති පරිදි ඒ සඳහා වන මූලික සාකච්ඡා එළඹෙන ජනවාරියේදී ඇරඹේ. මෙය මුල සිටම අලුතින් ලියන්නක් නොව, යහපාලන සමයේ කෙටුම්පත් සහ විවිධ සිවිල් සමාජ යෝජනා ද පාදක කරගනිමින් සිදුවන්නකි.
නමුත් මෙහිදී ආණ්ඩුවේ ප්රමුඛතා පෙළගැස්ම කුමක්ද?
අගමැතිනි හරිනි අමරසූරිය පාර්ලිමේන්තුවේදී පැහැදිලි කළේ නව ව්යවස්ථාවට පෙර කල්දමා ඇති පළාත් සභා මැතිවරණය පවත්වා අවසන් කිරීම ආණ්ඩුවේ අරමුණ බවයි. එනම්, අගෝස්තු වන විට පළාත් සභා ඡන්දය තබා, ඉන්පසු ව්යවස්ථා සම්පාදනය අවසන් කිරීමයි.
එහෙත් අගෝස්තුවේ ඡන්දය තැබීම කටුක යථාර්ථයකි. එය හුදෙක් දේශපාලන තීරණයක් පමණක් නොවේ. 2017 දී ගෙන ආ නව නීති හරහා සීමා නිර්ණ වාර්තාව පරාජය වීමත් සමඟ පළාත් සභා මැතිවරණ නීතිය පවතින්නේ අකර්මණ්ය තත්ත්වයකය. පැරණි ක්රමයට හෝ ඡන්දය තබන්නේ නම් පාර්ලිමේන්තුවෙන් නව නීති සම්මත විය යුතුය. ඊට අමතරව රටේ පවතින ආර්ථික තත්ත්වය හමුවේ අගෝස්තු වන විට ඡන්දයක් සඳහා මුදල් වෙන් කිරීමේ අපහසුව ටිල්වින් සිල්වා ද ව්යංගයෙන් පිළිගෙන තිබේ. ඒ අනුව අගෝස්තු ඉලක්කය ඊළඟ වසර දක්වා කල් යාමේ වැඩි ඉඩක් පවතී.
ටිල්වින් දිල්ලි ගියේ හදිසි කැඳවීමකටද?
මේ අතරතුර ටිල්වින් සිල්වාගේ ඉන්දීය සංචාරය දේශපාලන ලෝකයේ ලැව්ගින්නක් සේ පැතිරිණි. බොහෝ දෙනා මෙය නවදිල්ලියෙන් ආ "හදිසි කැඳවීමක්" ලෙස අර්ථකථනය කළද, සත්යය එය නොවේ. මෙය භාරතීය ජනතා පක්ෂයේ (BJP) "Know BJP" වැඩසටහන යටතේ ලැබුණු නිල ආරාධනයකි. එස්. ජයශංකර් ඇතුළු ඉහළ පෙළේ නායකයින් එහිදී හමුවීම හරහා තහවුරු වන්නේ මෙය පාලක පක්ෂ දෙක අතර සබඳතා වර්ධනය කර ගැනීමේ රාජ්ය තාන්ත්රික පියවරක් බවයි.
නමුත් ප්රශ්නය ඇත්තේ සංචාරය ඇතුළේ නොව, ඉන් මතුවන දේශපාලන පණිවිඩය තුළය.
13 වන සංශෝධන
ඉන්දියාවේ රතු ඉර සහ ආණ්ඩුවේ විකල්පය
නව ආණ්ඩුව සහ ඉන්දියාව අතර ගැටුමක් නිර්මාණය විය හැකි සංවේදීම කලාපය වන්නේ 13 වන ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනයයි. හිටපු ජවිපෙ ලේකම් ලයනල් බෝපගේ මෑතකදී කළ හෙළිදරව්වකින් මෙය මනාව පැහැදිලි වේ. ඔහුට අනුව, ටිල්වින් සිල්වා 13 වන සංශෝධනය දකින්නේ "ඍණාත්මක සාධකයක්" ලෙසිනි. ආණ්ඩුවේ උත්සාහය වන්නේ 13 සහ පළාත් සභා ක්රමයෙන් බැහැර වූ සම්පූර්ණයෙන්ම නව විකල්පයක් නව ව්යවස්ථාව හරහා හඳුන්වා දීමයි.
විශ්ලේෂක දයාන් ජයතිලක පෙන්වා දෙන පරිදි මෙය අතිශය භයානක සෙල්ලමකි. 1987 ඉන්දු-ලංකා ගිවිසුමෙන් බිහිවූ 13 වන සංශෝධනය සහ පළාත් සභා ක්රමය ආරක්ෂා කිරීම යනු ඉන්දීය විදේශ ප්රතිපත්තියේ මූලික කුළුණකි. නව ව්යවස්ථාව හරහා ජාතික ජන බලවේගය එය අහෝසි කිරීමට හෝ දියාරු කිරීමට සැරසෙන්නේ නම්, එය සෘජුවම නවදිල්ලිය සමඟ රාජ්ය තාන්ත්රික ගැටුමක් නිර්මාණය කරනු ඇත.
ප්රායෝගික යථාර්ථය හමුවේ ජවිපෙ අතීතය හැරදා යාම
1980 ගණන්වල 13 ට එරෙහිව සන්නද්ධ අරගලයක් කළ ජවිපෙ, අද භූ-දේශපාලනික යථාර්ථය තේරුම් ගෙන තිබේ. එදා තමන් විරුද්ධ වූයේ ඉන්දියාවට නොව ජේ.ආර් - රජීව් දේශපාලන ගනුදෙනුවට බව කියමින් ටිල්වින් සිල්වා අද උත්සාහ කරන්නේ අතීතයේ බරින් නිදහස් වීමටයි.
නිල වශයෙන් ඉන්දියාව ටිල්වින් සිල්වාට "නියෝග" නිකුත් කර නැති බව සැබෑවකි. එහෙත් රාජ්ය තාන්ත්රික භාෂාවෙන් නවදිල්ලිය සිය "රතු ඉර" ඉතා පැහැදිලිව සලකුණු කර ඇත. එනම්, 13 වන සංශෝධනය සමඟ සෙල්ලම් කිරීම දෙරටේ සබඳතාවලට හිතකර නොවන බවයි.
වත්මන් ආණ්ඩුව සිටින්නේ දෙබිඩි අභියෝගයක් මැදය. එක් පසෙකින් නව ව්යවස්ථාවක් සහ පද්ධතිමය වෙනසක් බලාපොරොත්තු වන දේශීය ඡන්දදායකයාය. අනෙක් පසින් 13 වන සංශෝධනය ක්රියාත්මක කරනු දැකීමට බලා සිටින කලාපීය බලවතා වන ඉන්දියාවය. ජනවාරියේ ඇරඹෙන ව්යවස්ථා සාකච්ඡා සහ අනාගතයේ පැවැත්වෙන පළාත් සභා මැතිවරණය තීරණය වනු ඇත්තේ ආණ්ඩුව මෙම දේශීය අපේක්ෂාවන් සහ භූ-දේශපාලනික යථාර්ථය කොතරම් සාර්ථකව සමබර කරගන්නේද යන්න මතය.
# SamaaraParanavithana

