ශ්‍රී ලංකාව දැඩි ආර්ථික හා ඖෂධ අර්බුදයකට මුහුණ දුන් 2022 වසරේදී, හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය මුවාවෙන්
ප්‍රමිතියෙන් තොර 'හියුමන් ඉමියුනෝග්ලොබියුලින්' (Human Immunoglobulin) සහ 'රිටක්සිමැබ්' (Rituximab) යන එන්නත් ආනයනය කිරීම හරහා රජයට රුපියල් කෝටි 14කට අධික පාඩුවක් සිදුකළ බව කියන සිද්ධියට අදාළ නඩු විභාගය මේ වන විට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ තිබේ.
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් දොළොස් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා 13ක් ගොනු කර ඇත්තේ පැහැදිලිවම මෙම නිශ්චිත ඖෂධ ද්විත්වය කේන්ද්‍ර කරගනිමිනි. එහෙත්, මෑතකාලීන නඩු විභාගයන්හි ස්වභාවය නිරීක්ෂණය කරන විට පැන නගින ප්‍රධානතම නීතිමය ගැටලුව වන්නේ, පැමිණිල්ල අදාළ නඩු නිමිත්තෙන් ඔබ්බට ගොස් වෙනත් ඖෂධ සහ සාමාන්‍ය පරිපාලනමය කරුණු වෙත වැඩි අවධානයක් යොමු කරන්නේද යන්නයි.

නඩු විභාගයේ නීතිමය දිශානතිය අපගමනය වීද?
නීතියට අනුව, අපරාධ නඩු විභාගයකදී සාක්ෂි මෙහෙයවීම ගොනුකර ඇති අධිචෝදනාවලට තදින්ම අදාළ විය යුතුය. එහෙත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම ගේ මෙහෙයවීම යටතේ දිගහැරෙන ඇතැම් සාක්ෂි, සැවරීස් ෆාමසෝටිකල්ස් හරහා ගෙන ආ වෙනත් ඖෂධ සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) අධ්‍යක්ෂ මණ්ඩලය ගත් සාමාන්‍ය තීරණ වටා කේන්ද්‍රගත වන බවක් පෙනෙන්නට තිබේ.
පරිපාලනමය දුර්වලතා හෝ අධ්‍යක්ෂ මණ්ඩල ගැටුම් ඉස්මතු කිරීම මගින් විත්තිකරුවන්ගේ සාමාන්‍ය පරිපාලන හැකියාව ප්‍රශ්න කිරීමට පැමිණිල්ල උත්සාහ කළද, ඉන් හියුමන් ඉමියුනෝග්ලොබියුලින් සහ රිටක්සිමැබ් සම්බන්ධයෙන් වූ 'සාපරාධී සාවද්‍ය පරිහරණය' (Criminal Misappropriation) සෘජුවම ඔප්පු නොවේ.
NMRA ලියාපදිංචිය සහ WOR අර්බුදය

පෙබරවාරි 27 වැනිදා පැවති නඩු විභාගයේදී පැමිණිල්ලේ 42 වන සාක්ෂිකාරිය ලෙස ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකා, මහාචාර්ය චාන්දනී අමිලා වනිගතුංග සාක්ෂි ලබා දුන්නාය. ඇයගේ සාක්ෂියේ ප්‍රධාන කරුණු කිහිපයක් මෙසේය:
- සංවේදී ඖෂධවල අවදානම:
මනුෂ්‍ය ප්‍රතිදේහ උපයෝගී කරගෙන නිපදවන මෙවැනි ඖෂධ ලියාපදිංචියකින් තොරව ගෙන්වීම අතිශය අවදානම්ය.
- WOR (Waiver of Registration) ක්‍රියාවලිය:
හදිසි අවස්ථාවකදී ලියාපදිංචියෙන් නිදහස් කිරීමේ (WOR) සහතික නිකුත් කළ හැක්කේ නියාමන අධිකාරියේ ලියාපදිංචි නිෂ්පාදකයෙකුට සහ ආනයනකරුවෙකුට පමණි.
- අනුමැතිය ප්‍රතික්ෂේප වීම:
12 වන විත්තිකරු (හිටපු NMRA සභාපති විජිත් ගුණසේකර) ඖෂධ 300කට ආසන්න ප්‍රමාණයක් සඳහා WOR සහතික නිකුත් කිරීමට අධ්‍යක්ෂ මණ්ඩලයෙන් අනුමැතිය ඉල්ලා සිටියද, එය ප්‍රතික්ෂේප විය.

විත්තියේ හරස් ප්‍රශ්න සහ අධිකරණයේ තීරණාත්මක මැදිහත්වීම
විත්තියේ නීතිඥවරුන්ගේ හරස් ප්‍රශ්න කිරීම් හමුවේ නඩු විභාගයේ තවත් පැතිකඩක් නිරාවරණය විය. අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් රහසිගතව පවත්වන්නේ ඖෂධ සමාගම්වල (Pharmaceutical Mafia) අනවශ්‍ය බලපෑම් වැලැක්වීමට බව සාක්ෂිකාරිය එහිදී පිළිගත්තාය. එසේම, නියමිත ලියාපදිංචිය සහිතව ගෙන්වන ඖෂධවලින් පවා සංකූලතා ඇතිවිය හැකි බවද ඈ සඳහන් කළාය.
මෙහිදී විනිසුරු මඩුල්ලේ මැදිහත්වීම සහ නිරීක්ෂණ ඉතා තීරණාත්මක විය:
- විනිසුරු විරාජ් වීරසූරිය:
ඖෂධ භාවිතයෙන් ඇතිවන අතුරු ආබාධ පිළිබඳව සංඛ්‍යාත්මක දත්ත විමසූ අතර, එය නිශ්චිතව ප්‍රකාශ කිරීමට සාක්ෂිකාරියට නොහැකි විය. අතුරු ආබාධ යනු ඖෂධයක ප්‍රමිතිය මැනීමේ එකම නිර්ණායකය නොවන බව මෙයින් ගම්‍ය වේ.
- සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ:
WOR සහතිකයේ මූලික පරමාර්ථය විනිසුරුවරයා විසින් මතු කළේය. වෙනත් විකල්පයක් නොමැති හදිසි අවස්ථාවකදී රෝගීන්ගේ ජීවිත බේරාගැනීම සඳහා, යම් සාධාරණ මට්ටමකට හෝ ඖෂධයේ ගුණාත්මකභාවය තහවුරු කරගැනීම එහි අරමුණ බව එහිදී තහවුරු විය.

පැමිණිල්ලේ අභියෝගය
පැමිණිල්ල විසින් NMRA අධ්‍යක්ෂ මණ්ඩලයේ තීරණ සහ WOR ක්‍රියාවලියේ සාමාන්‍ය භාවිතයන් පිළිබඳව පුළුල් චිත්‍රයක් මවා පෙන්වීමට උත්සාහ කර ඇත. එහෙත්, නීතිමය දෘෂ්ටිකෝණයෙන් බලන කල, පැමිණිල්ල සතු ඊළඟ සහ විශාලතම අභියෝගය වන්නේ මෙම සාමාන්‍ය පරිපාලනමය ගැටලු, අධිචෝදනා පත්‍රයේ සඳහන් "ඉමියුනෝග්ලොබියුලින්" සහ "රිටක්සිමැබ්" යන ඖෂධ සඳහාම විශේෂිත වූ වංචනික චේතනාවක් (Mens Rea) දක්වා කෙසේ ගොනු කරන්නේද යන්නයි.
නඩු විභාගය තවදුරටත් ඉදිරියට ඇදෙන විට, නීතියේ රැහැනට හසුවිය යුත්තේ සාමාන්‍ය පරිපාලනමය තීරණ ද, නැතහොත් සැබෑ ලෙසම සිදු වූ බව කියන මූල්‍ය වංචාව සහ ජීවිත අවදානම ද යන්න අධිකරණය හමුවේ තහවුරු වනු ඇත.
කතුවරයාගේ සටහන: මෙම නඩුව ලබන 03 වැනිදා යළි කැඳවීමට නියමිත අතර, වර්තමාන NMRA සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද අභය වික්‍රම එදින සාක්ෂි දීමට නියමිතය.

නඩු වාර්තාව
27/02/2026
2019.10.14 වන දිනැති අංක 21/45/1 දරන අති විශේෂ ගැසට් නිවේදනයේ 130(2) වගන්තිය ප්‍රකාරව ලියාපදිංචිය ලබාදීමේ ක්‍රමවේදය way of registration (WOR) ක්‍රියා පටිපාටිය යටතේ ඖෂධ ආනයනය කිරීම් වලදී ජාතික ඖෂධ නියාමන අධිකාරිය නීතිමය ක්‍රියාදාම වලින් නිදහස් කර තිබූ බව තම අධ්‍යක්ෂ මණ්ඩලය දැනගෙන සිටි බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක ලෙස කටයුතු කළ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාල වෛද්‍ය විද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය, කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චාන්දනී අමිලා වනිගතුංග මහත්මිය කොළඹ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ සාක්ෂි දෙමින් ප්‍රකාශ කළාය.
දොලොස්වන විත්තිකාර ඖෂධ නියාමන අධිකාරියේ හිටපු සභාපති, විජිත් ගුණසේකර මහතා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ චමින්ද අතුකෝරළ මහතා නැගූ හරස් ප්‍රශ්නවලට පිළිතුරුදෙමින් ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරිය එලෙස ප්‍රකාශ කළාය.
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා රජයට අයත් රුපියල් කෝටි 14කට අධික මුදලක් වංක ලෙස ව්‍යපහරණය කිරීම ඇතුළු අධි චෝදනා 13ක් යටතේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් දොළොස් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් එම නඩුව පවරා තිබිණි.
ජ්‍යෙෂ්ඨ නීතිඥ චමින්ද අතුකෝරල මහතා; මහාචාර්ය තුමියනි, ඔබ සාක්ෂි දෙමින් පැවසුවා තෙරපියුමින් කියන කාණ්ඩයට අයත් වන්නේ රෝහල්වල සායනික කටයුතු සඳහා ප්‍රයෝජනයට ගන්නා දේවල් කියලා. ඒ කාණ්ඩයට යම් යම් ඖෂධ වර්ගත් අයත් කියලා මම යෝජනා කළොත් ඔබතුමිය පිළිගන්නවාද?
සාක්ෂිකාරිය ; එහෙමයි ස්වාමීනී.
විත්තියේ නීතිඥවරයා ; ඒ වගේම ඔබතුමිය කීවා දොළොස් වන විත්තිකරු අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමට 2023.01.24 වැනිදා හදිසි මිලදී ගැනීම් සඳහා ඔහු අනුමැතිය ලබා දුන් ඖෂධ පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කළා කියලා. එකී වාර්තාව සමඟ අදාළ ඖෂධ වල නම් සඳහන් ඇමනුම් ඔහු ඉදිරිපත් කර තිබුණාද?
සාක්ෂිකාරිය ; එම ඇමුණුම් බලන්න ලැබුණේ නැහැ. ස්වාමීනී.
එහිදී පැමිණිල්ල මෙහෙය වූ නියෝජ්‍ය සොලිසිට ජෙනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙවියගේ මෙහෙයවීම යටතේ සාක්ෂි දුන් මහාචාර්ය චාන්දනී අමිලා වනිගතුංග මහත්මිය මෙලෙසද ප්‍රකාශ කළාය .
සාක්ෂිකාරිය ; 2015 වසරේදී ජාතික ඖෂධ නියාමන අධිකාරිය පිහිටුවීමට පෙර ක්‍රියාත්මක වූ විශේෂ ආයතනයේ කටයුතුවලටත් මම දායකත්වය දැක්වූවා. 2015 වසරේ ඖෂධ නියාමන අධිකාරිය පිහිටුවීමෙන් අනතුරුව එයට සම්බන්ධ විවිධ අංශවලට සම්බන්ධව කටයුතු කළා. 2022 වසරේ පෙබරවාරි මස සිට වසර තුනක පමණ කාලයක් එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකාවක ලෙස කටයුතු කළා. ලංකාව තුළ භාවිතා වන ඖෂධ අතරින් බහුතරයක් ආනයනය කළ ඖෂධ ලංකාවේ නීතිය අනුව ආනයනය කළ ඖෂධ පමණක් නොවේ. ලංකාවේ නිෂ්පාදනය කරන යම් ඖෂධයක් වුනත් ඖෂධ නියාමන පනත යටතේ ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි කළ යුතුයි. ඒ සඳහා අයදුම් පත්‍ර සමග අදාළ ලේඛන රාශියක් ඉදිරිපත් කළ යුතුයි. අදාළ ඖෂධය නිෂ්පාදනයට අදාළ තොරතුරු රැසක් සහ නිර්දේශ එම අයදුම් පත්‍ර සමග ඉදිරිපත් කළ යුතුයි.
නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල්වරිය ; ඔබතුමියට පුළුවන්ද ජාතික ඖෂධ නියාමන අධිකාරිය වෙත පැවරී ඇති වගකීම් මොනවාද කියලා ගරු අධිකරණයට පැහැදිලි කර දෙන්නට.
සාක්ෂිකාරිය ; ජාතික ඖෂධ නියාමන අධිකාරිය කියන්නේ ඖෂධ නියාමනයට අදාළව කටයුතු කිරීමේ වගකීම පැවැරී ඇති එකම රාජ්‍ය ආයතනය. ලංකාවට ආනයනය කරන නැතිනම් ලංකාව තුළ නිෂ්පාදනය කරන ඖෂධ වල ගුණාත්මක භාවය එකී ඖෂධවල තිබිය යුතු ආරක්ෂිතභාවය හා ප්රත්යක්ෂ බව සනාථ කිරීම එකී අධිකාරියට මූලිකව පැවරී තිබෙනවා. ලංකාවේ නීතිය අනුව ඖෂධ අධිකාරිය සියළුම ඖෂධ හා ඒවා නිෂ්පාදනය කරන ආයතන මෙන්ම ආනයනකරු ලියාපදිංචි කළ යුතුයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මඟපෙන්වීම යටතේ නිකුත් කළ මාර්ගෝපදේශ හා නිර්ණායක අනුව තමයි එම කටයුතු සිදු වන්නේ. ලංකාවට ආනයනය කරන සෑම ඖෂධයක්ම රසායනාගාර පරීක්‍ෂණවලට ලක් කරන්නේ නෑ. පෙර කී මාර්ගෝපදේශ හා නිර්ණායක අනුව එලෙස රසායනාගාර පරීක්ෂණයකින් තොරව ඖෂධ ආනයනය කරන්න පුළුවන්.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ; එහෙමනම් රට තුළ භාවිතා කරන සෑම ඖෂධයක්ම ගුණාත්මකභාවයෙන් යුතු යැයි තීරණය කරන්නේ කොහොමද?
සාක්ෂිකාරිය ; මා පෙර කිවූ මාර්ගෝපදේශ යටතේ තමයි. නමුත් ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන්ට බලය තිබෙනවා ඖෂධ සාම්පල් අරගෙන රසායනාගාර පරීක්ෂණයක් සිදු කරන්න යම් ඖෂධයක් ගැන යම් පැමිණිල්ලක් ලැබුනාම විශේෂයෙන් එම කටයුත්ත කරනවා. නමුත් ඉතා හදිසි අවස්ථාවලදී ඖෂධ නියාමන අධිකාරියට අවසර තිබෙනවා එකී ලියාපදිංචි ක්‍රමවේදය මගහැර ඩබ්ලිව් ඕ ආර් (වේ ඔෆ් රෙජිස්ට්රේෂන්) ක්‍රමවේදය යටතේ ඖෂධ ගෙන්වීමට. ලියාපදිංචිය මුදා හැරීමේ ක්‍රමවේදය යටතේ එලෙස හදිසි අවස්ථාවලදී ඖෂධ ආනයනය කිරීමට නම් අනිවාර්යයෙන්ම නිෂ්පාදකයා හා ආනයනකරු ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචිය ලබාගෙන තිබිය යුතුයි. ඒ පිළිබඳව සෑහීමට පත්වෙනවා නම් පමණයි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය ඒ සඳහා අනුමැතිය දෙන්නේ.
නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල්වරිය ; ප්‍රශ්න ගත හියුමන් ඉමියුනෝග්ලොබියුලින් හා රිටක්සිටැබ් එන්නත් එලෙස ලියාපදිංචියක් ලබා නොගෙන අලෙවි කරන්න බෙදා හරින්න හෝ භාවිතා කරන්න පුළුවන්ද ?
සාක්ෂිකාරිය ; කොහෙත්ම බෑ. ජෛව සාම්පල් උපයෝගී කරගෙන ඒ කියන්නේ මනුෂ්‍යයන්ගේ ප්‍රතිදේහ උපයෝගී කරගෙන නිෂ්පාදනය කරන ඖෂධ. ඒවා අපි භාවිතා කරන්නේ බොහෝ විට අසාධ්‍ය තත්ත්වයේ පසුවන රෝගීන් වෙනුවෙන්. එවැනි විශේෂ ඖෂධ ලියාපදිංචියකින් තොරව ආනයනය කිරීම ඉතා අවදානම් දෙයක්. මෙම කමිටුව ( අධ්‍යක්ෂ මණ්ඩලය) සුවිශේෂී අවස්ථාවකදී ඉල්ලීමක් ආවොත් ලියාපදිංචිය මගහැර එවැනි ඖෂධ ගෙන්වීමට අවසර දෙනවා. නමුත් එය සුවිශේෂී අවස්ථාවක් විය යුතුමයි. එවැනි අවසරයක් දුන්නත් ඒ පිළිබඳව රාජ්‍ය ඖෂධ සංස්ථාවට හා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අදාළ බලධාරීන්ට දැනුම් දෙනවා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ; අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකාවක් සාක්ෂිකාරියට පෙන්වයි.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; මේ එලෙස ලියාපදිංචිය මගහැර හදිසි අවශ්‍යතාවයක් ලෙස ඖෂධ 300කට ආසන්න ප්‍රමාණයක් ආනයනය කිරීමට ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරීවරයා ඩබ්ලිව් ඕ ආර් සහතික නිකුත් කළ බව පෙන්වා දෙමින් අධ්‍යක්‍ෂ මණ්ඩලයට ඉදිරිපත් කළ වාර්තාවක් නේද? ඔබ ඔහුව දන්නවද? එම නිලධාරියා අද මෙම අධිකරණයේ ඉන්නවාද? විත්තිකරුවන් දෙස බලා ඔහුව අඳුරනවාද කියලා කියන්න.
සාක්ෂිකාරිය ; ඔහු මෙම අධිකරණයේ සිටිනවා. (සාක්ෂිකාරිය දොළොස්වන විත්තිකරුවා හඳුනා ගනී)
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ; ඔබතුමිය එම විත්තිකරුව හඳුනනවාද? ඔහු ඔබගේ සිසුවෙක්ද?
සාක්ෂිකාරිය ; එතුමා ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ නිරීක්ෂකයකු ලෙසත් කටයුතු කළා මගේ සිසුවෙක්. ඔහු මා ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලයේ කටයුතු කරන විට එහි ප්‍රධාන විධායක නිලධාරියා ලෙස රාජකාරි කළා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ; ඔබ කීවා දොළොස්වන විත්තිකරු අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කොට ඒවා ඉතා හදිසි ඖෂධ වන බැවින් ඒවා ආනයනය කිරීමට ඩබ්ලිව් ඕ ආර් සහතික නිකුත් කිරීමට අවසර දුන්නා කියා අධ්‍යක්ෂ මණ්ඩලයට කීවා කියලා.
සාක්ෂිකාරිය ; 2023.01.24 වැනිදා පැවැති අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමට ඔහු එම පත්‍රිකාව ඉදිරිපත් කළත් අපේ අධ්‍යක්ෂ මණ්ඩලය ඔහු ඉල්ලා සිටි පරිදි, අනුමැතිය දුන්නේ නෑ. ඔහු කීවා ඔහු වෙත පැවරී ඇති බලතල අනුව එකී අනුමැතිය ලබා දුන් බවත් අධ්‍යක්ෂ මණ්ඩලය ඒ පිළිබඳව සලකා බලන ලෙසත් ඉල්ලා සිටියා. නමුත් ඔහු කිව්ව කරුණු සනාථ කර ගැනීම සඳහා ඉන් දින තුනකට පමණ පසු එනම් 2023.01.27 වැනිදා නැවත අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමක් පැවැත්වීමට අපි තීරණය කළා. ඒ අනුව ජනවාරි 27 වැනිදා අපි යළි රැස්වුණා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ; එහිදී දොළොස්වන විත්තිකරු පෙන්වා දුන්නාද විශේෂ ක්‍රමවේදය යටතේ ඔහු ඉදිරිපත් කළ ඖෂධ සඳහා අනුමැතිය දුන්නේ කුමන මාර්ගෝපදේශ යටතේද කියලා?
සාක්ෂිකාරිය ; නෑ ස්වාමීනී
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ; 2023.01.27 වැනිදා පැවැති හදිසි අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී ඔබලා මොකද කළේ? ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා හා විධායක අධ්‍යක්ෂවරයා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ලෙසටද සැලකෙන්නේ?
සාක්ෂිකාරිය ; නැහැ. නමුත් පනත අනුව එම තනතුරු දරන අයට අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමට සහභාගී වෙන්න පුළුවන්.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ; 27වැනිදා ඔබලා දොළොස්වන විත්තිකරු කරපු ඉල්ලීම සලකා බැලුවාද? එයට අනුමැතිය දුන්නාද?
සාක්ෂිකාරිය ; නැහැ ස්වාමීනි, අපි ඔහු ඉල්ලා සිටි අනුමැතිය ලබා දුන්නේ නැහැ.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ; ඇයි එහෙම කළේ?
සාක්ෂිකාරිය ; අපේ නිගමනය වුනේ වුනේ හදිසි ඩබ්ලිව්.ඕ.ආර් කමිටු රැස්වීමක් පවත්වා අවශ්‍ය සහතික ලබාගැනීමට නොහැකියාවක් නොතිබූ බවයි.
දෙවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි. නීතිඥ අසේල සේරසිංහ මහතා ; ඔබලාගේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම විවෘත එකක්ද? ඉතා සංවේදී කරුණු සාකච්ඡාවට බඳුන්වන යම් රහස්සභාවයකින් යුතුවයි එම අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම පවත්වන්නේ කියලා මා යෝජනා කළොත් ඔබ එය පිළිගන්නවාද? යම් යම් ඖෂධ සමාගම් වලට එකී අධ්‍යක්ෂ මණ්ඩල වලට බලපෑම් කිරීමට ඇති ඉඩකඩ ඇහිරීම නිසා නේද එහෙම රහස්සභාවයකින් යුතුව රැස්වන්නේ? ඖෂධ නියාමන අධිකාරියට නිල වශයෙන්ම පැවරී ඇති වගකීම් වලින් නිදහස් වෙන්න බෑ කියලා 2023.01.27 වැනිදා පැවැති රැස්වීමේදී ඔබලා තීරණය කළාද?
සාක්ෂිකාරිය ; එහෙමයි ස්වාමීනී
විත්තියේ නීතිඥවරයා ; රට තුළ තිබෙන ඕනෑම ඖෂධයක සාම්පල අරගෙන රසායනාගාර පරීක්ෂණයක් සිදුකිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන්ට තිබුණාා නේද?
සාක්ෂිකාරිය ; මට ඔවුන් සිදුකරන දේ පිළිබඳව නිසි අවබෝධයක් නෑ. නමුත් පරීක්ෂණ සිදු කරන්න පුළුවන් කියලා දැනුමක් තිබෙනවා.
විත්තියේ නීතිඥ අසේල සේරසිංහ මහතා ; දෙවන චූදිත 2022 ජනවාරි මස සිට එම වසරේ දෙසැම්බර් 12 දක්වා උසස් අධ්‍යාපන කටයුතු සඳහා විදේශගතවී සිටි බවට ඔබට දැනුමක් තිබෙනවාද කියා මා යෝජනා කරනවා.
සාක්ෂිකාරිය ; මට ඒ පිළිබඳව දැනුමක් නැහැ. ඇතැම් ඖෂධ කෙලෙස රසායනාගාර පරීක්ෂණ සිදුකර හෝ නොකර ආනයනය කළත් යම් යම් සංකූලතා වාර්තා වෙන අවස්ථා තිබෙනවා. ලියාපදිංචිය ලබාගෙන ආනයනය කළ ඖෂධ වල සංකූලතා වාර්තා වීම ස්වාභාවික දෙයක්. ලෝකයේ කුමන රටකින් කුමන ගුණාත්මකභාවයෙන් යුත් ඖෂධ භාවිතා කළත් එහෙම සංකූලතා ඇතිවෙන අවස්ථා තිබෙනවා.
නම වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රහුල් ජයතිලක මහතා ; මෙම කමිටුවේ වසර තුනක කාලයක් ඒ කියන්නේ 22 වසරේ සිට 2025 දක්වා ඔබතුමිය කටයුතු කළ බව කීවනේ? ඒ වගේම හියුමන් ඉමියුනෝග්ලොබියුලින් හා රිටක්සිටැබ් කියන ඖෂධ වර්ග දෙක වගේම රාජ්‍ය හෝ පුද්ගලික අංශයෙන් කුමන ඖෂධයක් ආනයනය කළත් ඒ සඳහා ලියාපදිංචි ක්‍රමවේදය යටතේ ඩබ්ලිව් ඕ ආර් සහතික නැතුව ගෙන්වන්න බැහැ කියලත් ඔබතුමිය කීවනේ? එහෙම ඩබ්ලිව් ඕ ආර් සහතික නොමැතිව ඖෂධ ගෙන්වන්න බෑ කියලා කුමන නීතියේද කුමන රෙගුලාසි වලද තියෙන්නේ කියලා මට කියන්න.
සාක්ෂිකාරිය ; එහෙම නිශ්චිත රෙගුලාසි නෑ. නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මග පෙන්වීම යටතේ හා මාර්ගෝපදේශ යටතේ අපි සකස් කල තීරණය කිරීම් අනුව තමයි අපි කටයුතු කරන්නේ. කිසිම ඖෂධයකට ඩබ්ලිව් ඕ ආර් සහතික දෙන්න ඕන නෑ කියලා නෑ තමයි. නමුත් අධ්‍යක්ෂ මණ්ඩලය ඒ සඳහා අනුමැතිය දෙන්නේ කරුණු හොඳට සලකලා බලලයි.
විනිසුරු විරාජ් වීරසූරිය මහතා ; විත්තියේ නීතිඥ මහත්තයකු ඖෂධ දෙකක නම් කියලා ඔබගෙන් ඇසුවා එම ඖෂධ භාවිතයෙන් ඇතිවූ අනිසි අතුරු ආබාධ පිළිබඳව ඔබට දැනුමක් තිබෙනවාද කියලා? ඔබ වෛද්‍යවරියක ලෙස කටයුතු කළ 2007 වසරේ සිට මේ දක්වා යම් යම් ඖෂධ භාවිතයෙන් කොපමණ අනිසි අතුරු ආබාධ ඇතිවුණාද කියල ඔබට දැනුමක් තිබෙනවාද?
සාක්ෂිකාරිය ; ස්වාමීනි, එහෙම සංඛ්‍යාත්මකව කියන්න බෑ.
සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා. ඩබ්ලිව් ඕ ආර් සහතික නිකුත් කිරීමෙන් ඔබ අධ්‍යක්ෂ මණ්ඩලය අපේක්ෂා කරන්නේ ඖෂධ වල ගුණාත්මකභාවය, නිවැරදි තත්ත්ව හා ප්රත්යක්ෂ බව ආරක්ෂා කිරීම නේද?
සාක්ෂිකාරිය ; එහෙමයි ස්වාමීනී. අපිට එකී ගුණාත්මක භාවය සම්පූර්ණයෙන් ආරක්ෂා කිරීමට ඩබ්ලිව් ඕ ආර් සහතික නිකුත් කිරීම මඟින් අපේක්ෂා කරන්න බැරි එක ඇත්ත. නමුත් එය යම් සාධාරණ තත්ත්වයකින් හෝ ආරක්ෂා කිරීමට එමඟින් පුළුවන්. වෙන විකල්පයක් නොමැති අවස්ථාවලදී රෝගීන්ගේ ජීවිත ගලවා ගැනීමට අවශ්‍ය අනුමැතිය අපි ලබා දෙනවා එකී සහතික නොමැතිව අපි ළඟට එන රෝගීන්ට අපි ඖෂධ නියම කරන්නේ ඔවුන්ගේ රෝග තත්ත්ව වලින් එම ඖෂධය භාවිතය මගින් ඔහුව හෝ ඇයගේ ජීවිතය ආරක්ෂා කරන්නයි. ලියාපදිංචි ගුණාත්මක භාවයෙන් ඉහළ ඖෂධයක් තමයි අපි නියම කළ යුත්තේ. නිසි වග විභාගයකින් තොරව ඖෂධ ආනයනය කිරීම හෝ නිෂ්පාදනය නොකළ යුත්තේ රෝගීන්ගේ ජීවිත ආරක්ෂා කිරීමේ පරමාර්ථයෙන්.
පැමිණිල්ලේ 42වන සාක්ෂිකාරිය ලෙස නම්කොට තිබූ එම මහාචාර්යවරියගේ සාක්ෂියෙන් අනතුරුව පැමිණිල්ලේ 37 වන සාක්ෂිකාරිය ලෙස නම් කොට තිබූ කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ප්‍රියදර්ශනී ගලප්පත්ති මහත්මිය නියෝජ්‍ය සොලිසිට ජෙනරාල් ලක්මිණි ගිරිහාගම මෙනෙවියගේ මෙහෙයවීම යටතේ සාක්ෂි ලබා දුන් අතර විත්තියේ නීතිඥවරුන් කීප දෙනෙකු ඇයගෙන් හරස් ප්‍රශ්න ඇසීමෙන් අනතුරුව නියෝජ්‍ය සොලිසිට ජෙනරාල්වරිය නැවත ප්‍රශ්න ඇසීම සිදු කළාය.
පැමිණිල්ල වෙනුවෙන් සාක්‍ෂි ලබාදීම සඳහා පැමිණිල්ලේ පළමුවන සාක්ෂිකරු ලෙස නම් කොට තිබූ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද අභය වික්‍රම මහතාට හා පැමිණිල්ලේ 45වන සාක්‍ෂිකරු ලෙස නම් කොට තිබූ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය කෝසල කුමාර් වික්‍රමාරච්චි මහතාට ලබන 03 වැනිදා පෙනී සිටින ලෙස දන්වා සිතාසි යැවීමට විනිසුරු මඩුල්ල නියම කළේය. එදින දක්වා නඩු විභාගය කල් තැබිණි.

