මෙරට ප්‍රධාන පෙළේ පෞද්ගලික බැංකුවක් වන කෝමර්ෂල් බැංකුවේ ගිණුම් හිමියන් ඉලක්ක කරගනිමින්,
ව්‍යාජ වෙබ් අඩවියක් හරහා රුපියල් කෝටි ගණනක මුදලක් වංචා කළ දැවැන්ත සයිබර් අපරාධයක් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
මේ සම්බන්ධයෙන් කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග බෝදරගම මහතා, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වා එහි ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙස CID යට නියෝග කර ඇත.
වංචාව සිදු වූ ආකාරය
සංවිධානාත්මක අපරාධකරුවන් පිරිසක් විසින් කෝමර්ෂල් බැංකුවේ නිල වෙබ් අඩවියට අතිශයින් සමාන ව්‍යාජ වෙබ් අඩවියක් (Phishing Site) නිර්මාණය කර ඇත. අන්තර්ජාල බැංකු සේවා ලබාගැනීම සඳහා අදාළ වෙබ් අඩවියට පිවිසි පාරිභෝගිකයින්ගේ රහස්‍ය තොරතුරු සූක්ෂම ලෙස ලබා ගනිමින් මෙම වංචාව සිදුකර ඇති බව CID පරිගණක අපරාධ විමර්ශන අංශය අධිකරණයට කරුණු වාර්තා කර ඇත. මේ හරහා බැංකුවේ පාරිභෝගික ගිණුම් 99 ක තිබූ රුපියල් කෝටි ගණනක මුදලක් කොල්ලකා තිබේ.
මුදල් මාරු කළ ගිණුම්
වංචනික ලෙස ලබාගත් මෙම මුදල්, මෙරට ක්‍රියාත්මක තවත් පෞද්ගලික බැංකු 04 ක සහ එක් රාජ්‍ය බැංකුවක ගිණුම් වෙත මාරු කර ඇති බව CID අන්තර්ජාල අවේක්ෂණ හා බුද්ධි ඒකකය විසින් සිදුකළ විමර්ශනවලදී හෙළිවී ඇත. ඒ අනුව;
- පෞද්ගලික බැංකු: සේලාන්, සම්පත්, නේෂන් ට්‍රස්ට් සහ පෑන් ඒෂියා
- රාජ්‍ය බැංකු: මහජන බැංකුව යන බැංකුවල ගිණුම් වෙත මෙම මුදල් වංචනික ලෙස බැර කරගෙන ඇත.
පැමිණිල්ල සහ නීතිමය ක්‍රියාමාර්ග
මෙම දැවැන්ත මූල්‍ය වංචාව සම්බන්ධයෙන් කෝමර්ෂල් බැංකු මූලස්ථානයේ ඩිජිටල් බැංකු අංශයේ විධායක නිලධාරි, අතුරුගිරියේ පදිංචි ජනිඳු දේශාන් රණවක ද කොස්තා මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නිල පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. ඒ අනුව ක්‍රියාත්මක වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විටත් අදාළ සැකකරුවන් සහ මුදල් ජාලය සොයා මෙහෙයුම් ආරම්භ කර තිබේ.
බැංකු පාරිභෝගිකයින් අන්තර්ජාල සේවා භාවිත කිරීමේදී සිය බැංකුවේ නිල වෙබ් අඩවියට පිවිසෙන්නේද යන්න පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස ආරක්ෂක අංශ මහජනතාවගෙන් ඉල්ලා සිටී.

