(කොළඹ) | 2025 දෙසැම්බර් 16
ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය පාලනයේ ප්‍රධානතම තනතුර වන විගණකාධිපති ධුරය
මාස 08 කට ආසන්න කාලයක් පුරප්පාඩුව පැවතීම සහ එම තනතුර සඳහා විගණන දෙපාර්තමේන්තුවෙන් පරිබාහිර, දූෂණ චෝදනා ලත් පුද්ගලයෙකු පත් කිරීමට යන බවට වන වාර්තා හේතුවෙන් සිවිල් සමාජ ක්‍රියාකාරීන්ගේ දැඩි විරෝධය එල්ල වී තිබේ.
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය (NMSJ) අද (16) විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ, විගණකාධිපති තනතුර විධායකයේ අණට අවනත විය යුතු තනතුරක් නොවන බවත්, එය ස්වාධීන ජාතික වගකීමක් සහිත ඉහළම තනතුරක් බවත්ය.
සිවිල් සමාජයේ අනතුරු ඇඟවීම
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ මහලේකම් සුනිල් ජයසේකර ගේ අත්සනින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන අනුව ජාත්‍යන්තර නිර්ණායකයන්ට අනුකූලව රාජ්‍ය විගණන ක්‍රියාවලියේ ස්වාධීනත්වය තහවුරු වන ආකාරයට සුදුස්සෙකු පත් කළ යුතු බවයි. විගණකාධිපති දෙපාර්තමේන්තුවේ ප්‍රශංසනීය ඉතිහාසය නොසලකා, පිටස්තර පුද්ගලයෙකු මෙම තනතුරට යෝජනා වීම පිළිබඳව එම ව්‍යාපාරය සිය බරපතල කනස්සල්ල පළ කර තිබේ.

යෝජිත නාමය ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්!
මේ අතර, ජනාධිපතිවරයා විසින් ලබන බදාදා ව්‍යවස්ථාදායක සභාවට යෝජනා කිරීමට නියමිතව ඇති බව පැවසෙන හිටපු යුද හමුදා කර්නල් ඕ. ආර්. රණසිංහ (රාජසිංහ) ට එරෙහිව බරපතල මූල්‍ය වංචා සහ විනය විරෝධී ක්‍රියා පිළිබඳ චෝදනා රැසක් මේ වන විට අනාවරණය වී ඇත.
හමුදා අභ්‍යන්තර ආරංචි මාර්ග සහ "දේශයට හිතෛශී යුද්ධ හමුදා නිලධාරීන්" විසින් හෙළිදරව් කර ඇති තොරතුරු වලට අනුව, යෝජිත කර්නල්වරයාට එල්ල වී ඇති ප්‍රධාන චෝදනා පහත පරිදි වේ:
රණවිරු ඇපරල් දූෂණ:
මොහු යක්කල රණවිරු ඇපරල් ආයතනයේ ගණකාධිකාරී ලෙස සේවය කළ සමයේ සැපයුම්කරුවන්ගෙන් 'සන්තෝසම්' ලබා ගනිමින් අයථා මිලදී ගැනීම් සිදු කර ඇති බවට චෝදනා එල්ල වී තිබේ.
රාජ්‍ය දේපල අවභාවිතය:
ගිණුම් අංශයේ නිලධාරීන්ට එක් වාහනයක් පමණක් හිමිව තිබියදී, 2017-2018 වසරවල නීතිවිරෝධීව වාහන දෙකක් භාවිතා කිරීම සහ බෙම්මුල්ල පිහිටි තම පෞද්ගලික නිවස ඉදිකිරීමට අනුමැතියකින් තොරව හමුදා සොල්දාදුවන් යොදා ගැනීම සම්බන්ධයෙන් මොහුට එරෙහිව පරීක්ෂණ පවත්වා ඇත.
වෘත්තීය සුදුසුකම් ගැටලු:
මොහු වරලත් ගණකාධිකාරී විභාග සඳහා අවශ්‍ය ප්‍රායෝගික පුහුණුව සම්පූර්ණ කරන සමයේ අයහපත් කල්ක්‍රියාව හේතුවෙන්, ඔහුගේ අධීක්ෂණ නිලධාරියා (කර්නල් නිලවීර) පුහුණු ලේඛන අත්සන් කිරීම ප්‍රතික්ෂේප කර ඇත. පසුව මොහු බාහිර විගණන ආයතනයක් හරහා වංචනික ලෙස එම ලේඛන අත්සන් කරවාගෙන සුදුසුකම් ලබා ගත් බවට තොරතුරු වාර්තා වේ.
උසස්වීම් අහිමි වීම: මෙම දූෂණ චෝදනා හේතුවෙන් 2022 වසරේදී ඔහුට බ්‍රිගේඩියර් ධුරයට උසස් වීමට තිබූ අවස්ථාව අහිමි වූ අතර, වයස අවුරුදු 55 දී කර්නල්වරයෙකු ලෙස විශ්‍රාම යාමට සිදු විය.
සුදුසුකම් පිළිබඳ විෂමතාවය
විශේෂයෙන්ම සැලකිල්ලට ගත යුතු කරුණක් වන්නේ, ජාතික විගණන කාර්යාලයේ වර්ගීකරණය අනුව යුද හමුදාවේ 'කර්නල්' තනතුර සමාන වන්නේ විගණන කාර්යාලයේ පහළම විධායක තනතුර වන 'විගණන අධිකාරී' තනතුරට වීමයි. එබැවින් පහළ මට්ටමේ පළපුරුද්දක් සහ දූෂිත ඉතිහාසයක් ඇති අයෙකු රටේ විගණකාධිපතිවරයා ලෙස පත් කිරීමේ උත්සාහය ගැන බරපතල ගැටලුවක් මතු වී තිබේ.
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ජනාධිපතිවරයාගෙන් සහ ව්‍යවස්ථාදායක සභාවෙන් ඉල්ලා සිටින්නේ, විගණකාධිපති දෙපාර්තමේන්තුවේ ගෞරවය හා ස්වාධීනත්වය ආරක්ෂා වන පරිදි තීරණ ගන්නා ලෙසයි. දූෂණ චෝදනා එල්ල වූ සහ දෙපාර්තමේන්තු පරිබාහිර පුද්ගලයෙකු පත් කිරීම හරහා ජාතික විගණනයේ වගකීම දුර්වල කිරීම බරපතල ඛේදවාචකයක් විය හැකි බව විචාරකයෝ පෙන්වා දෙති.
කෙසේ වුවද මේ පිළිබඳ තීරණය ද හෙට(17) ව්‍යවස්ථාදායක සභාව රැස්වූ විට සිදුකළ යුතුව තිබේ.
#නිරෝමි සුබ්‍රමනියම්

