2026 දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පතේ යෝජිත 185A වගන්තිය හුදෙක් බදු නීතියේ එක්
සංශෝධනයක් පමණක් නොවේ; එය නූතන රාජ්‍යය විසින් පුරවැසියාගේ පැවැත්ම නිර්වචනය කරන ආකාරය පිළිබඳ භයානක කියවීමකි. මේ වන විටත් මෙම පනත් කෙටුම්පත සහ විශේෂයෙන් එහි අඩංගු මර්දනකාරී වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව පවසමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක්ව, යම් යම් සංශෝධනයන්ට භාජනය වෙමින් පවතී. වංචනික චේතනාවක් (mens rea) නොමැතිව සිදුවන හුදු පරිපාලනමය අතපසුවීමක් හෝ ප්‍රමාදයක් අපරාධයක් බවට පත් කර සිරදඬුවම් නියම කිරීමට තරම් රාජ්‍ය යාන්ත්‍රණය කුරිරු වන්නේ නම්, අප ජීවත් වන්නේ කෙබඳු සමාජයකද යන්න අප ප්‍රශ්න කළ යුතුය.
මෙම වගන්තියේ බරපතලකම සහ අසාධාරණත්වය වඩාත් හොඳින් වැටහෙන්නේ දියුණු යැයි සම්මත ප්‍රජාතන්ත්‍රවාදී රටවල බදු පද්ධතීන් දෙස බලන විටය. එක්සත් රාජධානිය, කැනඩාව, ඕස්ට්‍රේලියාව සහ යුරෝපා සංගමයේ බහුතරයක් රටවල පරිපාලනමය අනුකූල නොවීම් (සිවිල් හෝ කාර්ය පටිපාටික වැරදි) සහ අපරාධමය බදු වංචා අතර ඉතා පැහැදිලි නීතිමය වෙන් කිරීමක් පවතී. එම රටවල අපරාධ සම්බාධක පනවන්නේ හිතාමතාම බදු මගහැරීම, වංචනික ලෙස තොරතුරු සැඟවීම හෝ ව්‍යාජ තොරතුරු සැපයීම වැනි චේතනාන්විත විෂමාචාරයන් සඳහා පමණි. පරිපාලනමය අසමත් වීම් කළමනාකරණය කරන්නේ දඩ මුදල් හෝ ප්‍රමාද ගාස්තු හරහාය.
එසේනම්, ශ්‍රී ලංකාවේ බදු නීතියට පමණක් ජාත්‍යන්තර ප්‍රමිතීන්ද උල්ලංඝනය කරන මෙවැනි අතිශය පීඩාකාරී වගන්තියක් ඇතුළත් කළේ කවුද? ඒ ඇයි? මෙහි පිළිතුර ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) වැනි ගෝලීය ප්‍රාග්ධන ආයතනවල දැඩි කොන්දේසි මත පදනම් වූ, උපරිම ආදායම් ඉලක්ක කරා කෙසේ හෝ යාමට වෙහෙසෙන "තාක්ෂණික නිලධාරිවාදයේ" (Technocracy) ක්‍රියාකලාපය තුළය. ඔවුන්ගේ අරමුණ මානව අයිතිවාසිකම් හෝ යුක්තිය තහවුරු කිරීම නොව, පද්ධතියේ බදු එකතු කිරීමේ "කාර්යක්ෂමතාවය" ඕනෑම මිලක් ගෙවා ලබා ගැනීමයි.

මෙහි ඇති ඛේදවාචකය නම්, ඉහළ බදු ගෙවිය යුතු සහ බදු පැහැර හරින මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට සහ ප්‍රබලයන්ට නීතියේ සිදුරු සොයාගෙන සිය නිදහසට කරුණු දැක්වීමට දක්ෂ නීතිඥයින් සිටීමයි. එහෙත්, මෙම වගන්තියෙන් සැබැවින්ම ගොදුරු වන්නේ තමන්ගේ එදිනෙදා ජීවන අරගලයේ නිරත වන, බදු උපදේශකයින්ට ගෙවීමට වත්කමක් නොමැති, ආකෘති පත්‍රයක් පිරවීමේදී හෝ නියමිත දිනට එය භාරදීමේදී සැබෑ අත්වැරදීමක් සිදුවිය හැකි සාමාන්‍ය පන්තියේ පුරවැසියාය. 185A වගන්තිය යනු සාමාන්‍ය මිනිසාගේ හුදු අත්වැරදීම දඬුවම් ලැබිය යුතු අපරාධයක් බවට පත් කරන රාජ්‍යයේ නවතම අඩම්තේට්ටමයි.
මෙය හුදු නීතිමය හෝ ආර්ථික ගැටළුවකට වඩා ඔබ්බට ගොස්, පරිභෝජනවාදී සමාජයක මිනිසාගේ නිදහස යනු කුමක්ද යන්න ප්‍රබල ලෙස ප්‍රශ්න කරන අවස්ථාවකි. වර්තමාන ක්‍රමය තුළ මිනිසාගේ පැවැත්මේ නීත්‍යානුකූලභාවය රඳා පවතින්නේ ඔහු බදු ගෙවන යන්ත්‍රයක් ලෙස කොතරම් නිවැරදිව ක්‍රියා කරනවාද යන්න මත පමණක් බවට පත්ව ඇත. මනෝවිශ්ලේෂණාත්මකව බැලූ කල, නූතන ධනවාදී සහ නිලධාරිවාදී රාජ්‍යය ක්‍රියාත්මක වන්නේ අතිශය කෘර "අධි-අහමක්" (Super-ego) ලෙසිනි.
අධි-අහමේ ස්වභාවය වන්නේ කිසිදා තෘප්තිමත් කළ නොහැකි ඉල්ලීම් කිරීම සහ පුරවැසියාගෙන් යන්ත්‍රයකට සමාන පරිපූර්ණත්වයක් අපේක්ෂා කිරීමයි. 185A වගන්තිය හරියටම මෙම ලක්ෂණය පෙන්නුම් කරයි; එය පුරවැසියාගෙන් පරිපූර්ණ අනුකූලතාවයක් අපේක්ෂා කරන අතර, සුළු අතපසුවීමකදී පවා බිහිසුණු ලෙස දඬුවම් කිරීමට මාන බලයි.

"දෘෂ්ටිවාදය යනු සැබෑ ලෝකය වසන් කරන මනඃකල්පිතයක් නොවේ; එය අපගේ සමාජ යථාර්ථයම ව්‍යුහගත කරන මනඃකල්පිතයයි"යනුවෙන් ශිෂැක් පෙන්වා දෙයි.

බදු අනුකූලතාවය සහ රාජ්‍ය ආදායම වැඩි කිරීම යන ආකර්ෂණීය "ප්‍රායෝගික" තර්කය පිටුපස ඇත්තේ, රාජ්‍යයේ ප්‍රචණ්ඩත්වය සහ බලහත්කාරය සාමාන්‍යකරණය කිරීමේ දෘෂ්ටිවාදයයි. මෙහිදී මිනිසාගේ ආධ්‍යාත්මික, සංස්කෘතික සහ සමාජීය වටිනාකම් මුළුමනින්ම යටපත් වී, ඔහුව හුදෙක් "බදු ලිපිගොනුවක්" හෝ ආර්ථික ඒකකයක් බවට ලඝු කරනු ලැබේ.
ලැකානියානු අර්ථයෙන් ගත් කල, රාජ්‍යය නැමැති "මහා අනෙකා" (The Big Other) මෙහිදී පුරවැසියා දෙස බලන්නේ උපතින්ම වරදකරුවෙකු ලෙසය. චේතනාව (mens rea) නොමැතිව වුවද පුරවැසියෙකුට අපරාධකරුවෙකු සේ සලකා දඬුවම් කිරීමේ නීතියක් ගෙන ඒම යනු ෆ්‍රාන්ස් කෆ්කාගේ නවකතාවල එන අතාර්කික සහ බියකරු නිලධාරිවාදය සැබෑ ලෝකයේ ප්‍රතිනිර්මාණය වීමකි.
අවසාන වශයෙන් ගත් කල, 185A වගන්තිය යනු හුදෙක් ලියවිල්ලක ඇති අකුරු කිහිපයක් නොව, පරිභෝජනවාදී සමාජයක අවසාන ඛේදවාචකය නියෝජනය කරන සංකේතයකි. මිනිසාගේ පැවැත්මේ එකම අරමුණ රාජ්‍ය නඩත්තුව සඳහා ප්‍රාග්ධනය ජනනය කිරීම සහ එහි නිලධාරිවාදී රීතීන්ට අකුරටම කීකරු වීම පමණක් බවට පත් කළ විට, මානව නිදහසේ මළගම සනිටුහන් වේ. නීතියක් සාධාරණ වන්නේ එය පුරවැසියාගේ අත්වැරදීම් සහ අපරාධමය චේතනාවන් වෙන්කර හඳුනාගැනීමට තරම් මානුෂීය වූ විට පමණි. මිනිසා ජීවත් වන්නේ රාජ්‍යයේ බදු ආකෘති පත්‍ර නිවැරදිව පිරවීමට නොවන බවත්, ජීවිතයට ඊට වඩා පුළුල් අර්ථයක් සහ නිදහසක් ඇති බවත් මෙවැනි මර්දනකාරී නීති හමුවේ අප නැවත නැවතත් සමාජයක් ලෙස අවධාරණය කළ යුතුව ඇත.
#සමාරා පරණවිතාන

