SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

ශ්‍රී ලංකාවේ පෘතුගීසි යුගය පිළිබඳව මෙතෙක් පැවති සාම්ප්‍රදායික ඓතිහාසික කියවීම් අභියෝගයට ලක්කරමින්,

නවමු විචාරාත්මක මානයකින් ඉතිහාසය විමර්ශනය කරන වෛද්‍ය අජිත් අමරසිංහගේ නවතම පර්යේෂණ කෘතිය වන "ලංකාවේ පෘතුගීසීන් සිටි යුගය" එළඹෙන 11 වැනිදා කොළඹ මහවැලි කේන්ද්‍රයේදී එළිදැක්වීමට නියමිතය.

 

 

දෝන කතිරිනා හෙවත් කුසුමාසන දේවිය පිළිබඳව මෙතෙක් පැවති මූලික ඓතිහාසික මතවාද පවා දැඩි සේ ප්‍රශ්න කරන මෙම ආන්දෝලනාත්මක කෘතිය සම්බන්ධයෙන් ප්‍රකට දේශපාලනඥයකු හා සමාජ ක්‍රියාකාරිකයෙකු මෙන්ම ලේඛකයෙකු ද වන කරු පරණවිතාන විසින් මුහුණු පොතේ තබන ලද  සටහන පහතින් පළවේ.

 

 

"ඉතිහාසයට කරන හොඳම ණය ගෙවීම වන්නේ එය නැවත ලිවීමය (The only duty we owe to history is to rewrite it)" යනුවෙන් අයර්ලන්ත ජාතික කවියකු හා නාට්‍යකරුවෙකු වූ ඔස්කා වයිල්ඩි ප්‍රකාශ කළේය. මෙම ප්‍රකාශය මගින් ඔහු අදහස් කළේ ඉතිහාසය යනු වෙනස් කළ නොහැකි, නිරපේක්ෂ සත්‍යයකින් සමන්විත මළ ග්‍රන්ථයක් නොවන බවත්, එය වර්තමාන පරම්පරාවල අවශ්‍යතා, අත්දැකීම් සහ අර්ථකථන මත නිරන්තරයෙන් පුනරාවර්තනයට හා විග්‍රහයට ලක්විය යුත්තක් බවත්ය.

 

ඉතිහාසය ගැන වැඩි දෙනෙකු උපුටා දක්වන ඔස්කා වයිල්ඩ් ගේ ඉහත කී ප්‍රකාශය සිහියට පැමිණියේ වෛද්‍ය අජිත් අමරසිංහ මහතා, "ලංකාවේ පෘතුගීසීන් සිටි යුගය" නමින් ලියා තිබෙන පර්යේෂණ ග්‍රන්ථයේ අත්පටපත කියවාගෙන යන්නට වූ විටය. 'ලංකාවේ පෘතුගීසි යුගය' ගැන ලියා තිබෙන ප්‍රසිද්ධ ඉතිහාස පොත් කිහිපයක්ම ඇත. එහෙත් ඒ සියල්ලට වෙනස් මුහුණවරකින් ලියා තිබෙන මේ දැවැන්ත කෘතිය එම කාලයේ සිදුවූවා යැයි අප මෙතෙක් වශ්වාස කරමින් සිටි කරුණු ගණනාවක් ප්‍රශ්න කර සිටියි.

 

එයින් මා සිත්ගත් එක කරුණක් වන්නේ දෝන කතිරිනා හෙවත් කුසුමාසන දේවිය ලංකාවේ සිටි 'එකම කතෝලික රැජිනය' යනුවෙන් මෙතෙක් කලක් ඉතිහාස කකිකාව තුළ හා සෞන්දර්ය කතිකාව තුළ (මධුර ජවනිකා නාටකය) දරමින් තිබු අදහස ප්‍රශ්න කිරීමය. කුසුමාසන දේවිය රජ බිසවක් වු නමුත් රැජිනක් නොවු බවත් ඇය කතෝලික ආගම වැළඳ නොගත් බවත් අජිත් අමරසිංහ මහතා පවසයි. එවැනි ආන්දෝලනාත්මක කරුණු රැසක් සමගින් මේ යුගය පිළිබඳ අප මෙතෙක් දැන සිටි මුලාශ්‍ර පිළිබඳ දැඩි විචාරාත්මක පරීක්ෂාවක්ද ඉදිරිපත් කරයි. එසේම ජාතිය, ජාතිකවාදය ආදී සංකල්ප පිළිබඳ තිබෙන ප්‍රචලිත දේශපාලන- සමාජ විද්‍යා සංකල්පද අභියෝගයට ලක්වන ඓතිහාසික උදාහරණ ඔහු ගෙනහැර දක්වයි. මෙය ශාස්ත්‍රීය තලයේ ඉමහත් ආන්දෝලනාත්මක මැදිහත් වනු ඇතැයි මට සිතේ.

 

ඉතිහාසය යනු මළ විෂයයක් නොවේ. එය දිනපතා අලුත් වන විෂයයකි. එය අලුත් වන්නේ නැවත නැවත ලිවීමෙනි. සැබවින්ම අජිත් අමරසිංහ මහතා පෘතුගීසින් මෙරට සිටි කාලය පිළිබඳ ඉතිහාස කතාව අලුත් කර තිබේ. මේ දැවැන්ත කෘතියේ පළමුවන කොටස මෙම 11වනදා පස්වරුවේ කොළඹ මහවැලි කේන්ද්‍රයේ එළි දැක්වේ."

 

 

කරු පරණවිතාන

නවතම ලිපි