වාරික ක්‍රමයට සහල් කිලෝ 20ක්
2024 මහ මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන්ට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක
බලයක් ලබා දෙමින් ඔවුන්ව ප්‍රජාතන්ත්‍රවාදී බල මණ්ඩපයේ අසුන් ගැන්වීමට මහත් කාර්යභාරයක් ඉටු කළ, දස ලක්ෂයක් පමණ වූ මෙරට රාජ්‍ය සේවකයන්ගේ අඳුරු යුගය අවසන් වීමට නියමිතය. ඔවුන්ගේ වෙහෙසේ ඵල නෙළාගන්නට දැන් කාලය එළඹ ඇත. ජවිපෙ මාක්ස්වාදී දර්ශනය කෙරෙහි අසීමිත විශ්වාසයක් තැබූ මේ දැවැන්ත රාජ්‍ය සේවක පිරිසට රජයෙන් ලැබෙන කෘතවේදී ත්‍යාගය කුමක්ද?
මෙම අතිවිශාල ප්‍රදානය පිළිබඳව ප්‍රකාශය සිදු කරනු ලැබුවේ, පසුගිය වසරේ වත්කම් ප්‍රකාශවලට අනුව රුපියල් මිලියන 270ක පමණ පෞද්ගලික ධනයකට හිමිකම් කියන වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා විසිනි. ඒ ඓතිහාසික අනුරාධපුර පුරවරයේදී පනස් දෙනෙකුටත් අඩු කුඩා පිරිසක් අමතමිනි.
මේ ලැබෙන්නට යන ත්‍යාගය රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා රාජ්‍ය සේවකයන්ට නිවාස සෑදීමට දුන් සහනදායී ණය ක්‍රමය වැනි එකක්ද? එසේත් නැතිනම් මහින්ද රාජපක්ෂ රාජ්‍ය සේවකයන්ට සහනදායී පදනම මත ලබා දුන් යතුරුපැදි වැනි දෙයක්ද?
නැත! ඊට වඩා හාත්පසින්ම වෙනස් වූවකි.

ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාව ඉහළ මධ්‍යම ආදායම් ලබන රටක් බවට පත්කර ඇති මොහොතක, වෙළෙඳ අමාත්‍යවරයා මහත් ආඩම්බරයෙන් නිවේදනය කළේ කෘෂිකර්ම අමාත්‍යාංශය සමඟ එක්ව සකස් කළ විශේෂ ක්‍රමවේදයක් යටතේ සියලුම රාජ්‍ය සේවකයන්ට පහසු ගෙවීමේ ණය ක්‍රමයක් (වාරික ක්‍රමයට) යටතේ සහල් කිලෝ 20ක් ලබා දීමට සූදානම් බවයි. දීර්ඝ පොසොන් සතිඅන්තයට පෙර මෙම ආරංචිය ඇසූ රාජ්‍ය සේවකයින්ට සතුට දරාගත නොහැකි වන්නට ඇත.
තවත් සුබ ආරංචියක්ද එහි විය. එනම් මෙම සහල් කිලෝ 20, කිලෝ 10යේ පැකට් දෙකක් ලෙස ලැබීමයි. එකක නාඩු සහල් ද, අනෙකෙහි කැකුළු සහල් ද අඩංගු වනු ඇත. රණසිංහ ප්‍රේමදාස නිවාස ලබා දුන්, මහින්ද රාජපක්ෂ අධිවේගී මාර්ගවල යන්නට යතුරුපැදි ලබා දුන් යුගය පසුකරමින්, මෙම රජය රාජ්‍ය සේවකයන්ගේ බඩගින්න නිවීම සඳහා සහනදායී ණය ක්‍රමයකට වවුචර් පත් මගින් සහල් මලු දෙකක් ලබා දීමේ විප්ලවීය අදහසකට පැමිණ තිබේ. විපක්ෂය මේ ක්‍රමය හෑල්ලුවට ලක් කරමින් සිනාසුණද, ඒ ඔවුන්ට මෙවැනි අපූරු සුබසාධන ක්‍රමයක් නිර්මාණය කිරීමට නොහැකි වීම පිළිබඳ ඇති ඊර්ෂ්‍යාව නිසා විය හැකිය.
මාධ්‍ය අමාත්‍යවරයාගේ හරස් කැපීම
රජයෙන් සහනදායී පදනම මත සහල් ලැබෙනවා යැයි සතුටින් පිනා ගිය රාජ්‍ය සේවකයන්ට එක්වරම අසන්නට ලැබුණේ වෙනත් කතාවකි. සාදයකට කඩා පැන එය විනාශ කරන්නෙකු සේ, ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස කරළියට පැමිණියේය. අමාත්‍ය වසන්ත සමරසිංහගේ පොරොන්දුව නිශ්ප්‍රභ කරමින් ඔහු කියා සිටියේ, "එය රජයේ නිල තීරණයක් ලෙස මෙතෙක් සම්මත වී නොමැති" බවයි.
නමුත් රාජ්‍ය සේවකයන් බිය විය යුතු නැත. ඔවුන්ගේ බඩගින්න වෙනුවෙන් වාරික ක්‍රමයට සහල් ඉල්ලා සිටීම නුදුරේදීම ආයාචනයක් නොව නිවේදනයක් ලෙසම එළියට එනු ඇත.
(සන්ඩේ ටයිම්ස් හි Don Manu - Sunday Punch යටතේ පළවූ ලිපියක අනුවර්තනයකි)

