SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

නව ආණ්ඩුවක් බලයට පත්වන සෑම අවස්ථාවකදීම මෙරට රාජ්‍ය පරිපාලන යන්ත්‍රණයේ සිදුවන කැලඹීම රහසක් නොවේ.

දේශපාලන බැඳියාවන්, හිතවත්කම් සහ ලැදියාවන් මත ජ්‍යේෂ්ඨ රාජ්‍ය නිලධාරීන්ට තම තනතුරු අහිමි වීමත්, කිසිදු රාජකාරියක් නොමැතිව "නිලධාරී සංචිතවල" (Officers Pool) මාස ගණන් කාලය ගත කිරීමට සිදුවීමත් ඛේදවාචකයකි. මෙවැනි සිදුවීම් රාජ්‍ය නිලධාරීන්ගේ මානසිකත්වය බිඳ දමන අතර, සමස්ත රාජ්‍ය සේවයේම කාර්යක්ෂමතාවයට දැඩි ලෙස බලපායි.

 

 

මෑතකදී ප්‍රකාශයට පත් කරන ලද SC (FR) 8/2025 ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව, මෙම ඛේදවාචකය නීතියේ ආධිපත්‍යය සහ මානව ගරුත්වය නැමති කෝණයෙන් මැනවින් විශ්ලේෂණය කළ ඓතිහාසික නඩු තීන්දුවකි. නීති විද්‍යාල සිසුන්ට මෙන්ම රාජ්‍ය පරිපාලනය හදාරන විද්‍යාර්ථීන්ට ද මෙය කදිම නිදර්ශනයක් සපයයි.

 

නඩුවේ පසුබිම සහ අත්තනෝමතික පරිපාලනය

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන ඩබ්ලිව්. එස්. සත්‍යානන්ද, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු ලෙස පත් කරනු ලැබීය.

 

එහෙත් ඔහු රාජකාරි භාරගැනීමට ගිය අවස්ථාවේදී, අමාත්‍යවරයාගේ එකඟතාව මත වෙනත් නිලධාරියෙකු එම තනතුරට යෝජනා කර ඇති බව පවසමින්, අදාළ අමාත්‍යාංශයේ ලේකම්වරයා (මහාචාර්ය කපිල පෙරේරා) විසින් සත්‍යානන්ද මහතාට කාර්යාලයෙන් පිටව යන ලෙස දන්වා ඇත.

 

 

මෙය හුදෙක් එක් නිලධාරියෙකුට සිදුවූ අසාධාරණයක් පමණක් නොව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ස්ථාපිත රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ බලතල අමාත්‍යාංශ ලේකම්වරයෙකු විසින් අත්තනෝමතික ලෙස අභියෝගයට ලක් කිරීමකි.

 

 

නීතියේ ආධිපත්‍යය සහ පූර්වාදර්ශ

ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නඩුවේදී තීන්දුව ලබා දීම සඳහා මෙරට නීති ක්ෂේත්‍රයේ ප්‍රබල පූර්වාදර්ශ (Precedents) ගණනාවක් උපයෝගී කරගෙන ඇත. රාජ්‍ය නිලධාරීන්ගේ අත්තනෝමතික තීරණ, මහජන විශ්වාසය පිළිබඳ න්‍යායට (Public Trust Doctrine) පටහැනි බව අධිකරණය අවධාරණය කළේය.

 

  • මහජන විශ්වාසය (Public Trust Doctrine): Heather Therese Mundy v Central Environmental Authority නඩුව උපුටා දක්වමින් අධිකරණය ප්‍රකාශ කළේ, රාජ්‍ය නිලධාරීන්ට පැවරී ඇති බලය අසීමිත නොවන බවත්, එය මහජනතාව වෙනුවෙන් භාරකාරත්වයක් ලෙස ක්‍රියාත්මක කළ යුතු බවත්ය.

  • බලය පෞද්ගලික ලාභය සඳහා නොවේ: Sugathapala Mendis v Chandrika Kumaratunge නඩුවට අනුව, රාජ්‍ය බලය යනු ජනතාවගේ යහපත උදෙසා මිස පෞද්ගලික හෝ හිතවත්කම් මත භාවිතා කළ හැකි දෙයක් නොවන බව පෙන්වා දී ඇත.

  • අත්තනෝමතිකභාවය සහ සමානත්වය: W.P.S. Wijerathna v SLPA නඩුවේ දැක්වෙන පරිදි, "අත්තනෝමතිකභාවය යනු සමානත්වයේ පරම සතුරාය" (arbitrariness is the anathema of equality). ලේකම්වරයාගේ ක්‍රියාකලාපය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තියෙන් තහවුරු කර ඇති සමානත්වයේ අයිතිය අමු අමුවේ උල්ලංඝනය කිරීමක් බව අධිකරණය නිගමනය කළේය.

 

මානව ගරුත්වය (Human Dignity) කෙලෙසීම

මෙම නඩු තීන්දුවේ ඇති වඩාත්ම සංවේදී සහ නෛතික වශයෙන් වැදගත් කොටස වන්නේ "මානව ගරුත්වය" පිළිබඳව දක්වා ඇති අදහස්ය. වසර 30 කට අධික සේවා කාලයක් ඇති ජ්‍යේෂ්ඨ නිලධාරියෙකුට , කාර්යාලයෙන් පිටව යන ලෙස පැවසීම ඔහුගේ වෘත්තීය මෙන්ම මානව ගරුත්වයට කළ බරපතල නිග්‍රහයක් බව අධිකරණය පිළිගත්තේය. මානව ගරුත්වය යනු මූලික අයිතිවාසිකම්වල පදනම බව Sachith Prabath Wijeratna v Police Inspector B.S. Chandrasiri නඩුවෙන් ද තහවුරු කර ඇත.

 

විශ්ලේෂණාත්මක විග්‍රහය: දඬුවම මීට වඩා දැනෙන සුළු විය යුතු ද?

අධිකරණය විසින් 1 වන වගඋත්තරකරු අතින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට ප්‍රකාශ කරමින් , පෙත්සම්කරුට අහිමි වූ ගෞරවය කිසිදු වන්දි මුදලකින් යථා තත්ත්වයට පත් කළ නොහැකි බව පවසා වන්දි මුදලක් නියම කිරීමෙන් වැළකී සිටියේය. ගරු අධිකරණයේ එම දාර්ශනික ප්‍රවේශය සහ තර්කනය අතිශයින්ම ගෞරවාන්විතය.

 

 

නමුත් පරිපාලන විද්‍යාත්මක කෝණයකින් සහ ප්‍රායෝගික සමාජ යථාර්ථය තුළ බලන කල, මෙවැනි ක්‍රියාමාර්ගවලදී ලබාදෙන නෛතික ප්‍රතිඵලය මීට වඩා 'දැනෙන සුළු' (Impactful) විය යුතු බවට තර්කයක් මතු වේ. වන්දි මුදලකින් ගරුත්වය ආපසු ලබා දිය නොහැකි වුවද, අත්තනෝමතික ලෙස ක්‍රියා කළ නිලධාරියාගෙන් පෞද්ගලිකව ගෙවීමට සිදුවන දඩයක් හෝ වන්දියක් නියම කිරීම, අනාගතයේදී වෙනත් දේශපාලන බලධාරීන්ගේ හෝ ලේකම්වරුන්ගේ මෙවැනි අත්තනෝමතික හැසිරීම් වලක්වාලීමට (Deterrence) ප්‍රබල සාධකයක් වනු ඇත.

 

 

රාජ්‍ය සේවා කොමිසමේ විධානයක් කඩ කිරීම දණ්ඩ නීතිය යටතේ වරදක් වන පසුබිමක (ව්‍යවස්ථාවේ 61C(1) වගන්තිය), වැරදිකරුවන් හුදු 'ප්‍රකාශන තීන්දුවකින්' (Declaratory order) පමණක් නිදහස් වීම, මෙවැනි අකටයුතුකම් දිගින් දිගටම සිදුවීමට පවතින ඉඩකඩ පුළුල් කරයි.

 

 

නිගමනය

SC (FR) 8/2025 නඩු තීන්දුව යනු හුදෙක් එක් නිලධාරියෙකුගේ ජයග්‍රහණයක් පමණක් නොව, එය සමස්ත රාජ්‍ය සේවයේම ස්වාධීනත්වය සහ ගරුත්වය සුරැකීම වෙනුවෙන් දුන් ඓතිහාසික ලියවිල්ලකි. ඉදිරි ආණ්ඩු පාලනයන් මෙය පැහැදිලි පාඩමක් කරගත යුතුය.

දේශපාලන අවශ්‍යතා මත රාජ්‍ය පරිපාලන තන්ත්‍රය අඩාල කිරීම සහ නිලධාරීන් පාපන්දු බවට පත් කිරීම වහාම නතර විය යුතුය. එසේ නොමැති වුවහොත්, රාජ්‍ය සේවකයාගේ මානසික බිඳවැටීමේ අනිවාර්ය වන්දිය ගෙවීමට සිදුවන්නේ මෙරට අහිංසක බදු ගෙවන ජනතාවටමය.

 

නවතම ලිපි