පින්වත, ඔබ ‘දිට්වා කුණාටුව’ හේතුවෙන් රට තුළ ඇති වුණ විනාශය ගැන, ජීවිත හානි ගැන කුමක් ද සිතන්නේ?
පින්වත, ඔබට මේ විනාශය සිතා ගන්න බැරි පුදුමයක් ද? පින්වත, මේ විනාශය ඔබට මහා පුදුමයක් නම්, භික්ෂුව බොහෝම පැහැදිලිව කියනවා, පින්වත් ඔබ තවමත් ධර්මය දැකලා නම් නැහැය කියලා.
පින්වත, ධර්මය දකිනවා යැයි කියන්නේ රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණයන්ගේ කැඩෙන, බිඳෙන, විසිරෙන ස්වභාවය, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තියෙන්, සම්මා ඥානයන් තුළින් දකිනවාය කියන කාරණයයි. පින්වත, පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය සම්මා ඥානයන් තුළින් දකින්නා, උතුම් තෙරුවනුත් අනිත්‍ය වූ සංස්කාරයෝ යැයි, අචල ශ්‍රද්ධාවේ විදර්ශනාමය දැක්ම තුළයි පසුවන්නේ.
පින්වත, බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටිය දී, අසූමහා ශ්‍රාවකයන් වහන්සේලා ඇතුළු මහ රහතන් වහන්සේලා දඹදිව වැඩ සිටිය දී, පින්වත, බිම්බිසාර රජතුමා වැනි උතුම් සෝවාන්ඵල අවබෝධය ලැබූ දැහැමි රජ කෙනෙක් මගධ රාජ්‍යය පාලනය කරද්දීත්, විශාලා මහනුවර ඇති වූ මහා දුර්භික්‍ෂයේ විනාශය ඔබට සිහිපත් වෙනවා ද? පින්වත, බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටි සමයක විශාලාව අමු සොහොනක් වුණා නම්, පින්වත, අපිට පැමිණි දිට්වා කුණාටුවේ විනාශයට ගොඩාක් ලකුණු දෙන්න යන්න එපා. එහෙම වුණොත් අනාගතයේ දී සිදුවිය හැකි මීට වඩා මහා විනාශයක් ගැන ඔබේ අවධානය ගිලිහිලා යාවි. පින්වත, දිට්වා කුණාටුව සෙල්ලම් කුණාටුවක්. පින්වත, සංසාර බිය ඇති කොට ගෙන, කැඩෙන, බිඳෙන, විසිරෙන ලෝකය ඉදිරියේ චතුරාර්ය සත්‍යය ධර්මයන්ගෙන් අවිහිංසාවාදීව සන්නද්ධ වෙන්න. පින්වත, වියරු සංස්කාර ලෝකයේ ඔබේ ආරක්‍ෂකයා නිවැරදිව හඳුනා ගන්න.
පින්වත, ආදීනවයේත් සැඟවුණ ආස්වාදයක් තිබෙනවා. පින්වත, මේ ආස්වාදය සකස් වන්නේ පින සහ පව හෙවත් සංස්කාරයෝ හේතුවෙන් සකස් වන විඤ්ඤාණයේ මායාව හේතුවෙන් මයි.
පින්වත, ගංවතුරේ සිරවෙලා සෙල්ෆි ගහන්නේ, මහ පාරේ ගලායන ජලයේ මාළු මරන්නේ, ගංවතුරේ විනෝද වෙන්නේ, ආදීනවය තුළ සැඟවුණ මායාකාරී කෙටි ආස්වාදයක් තිබෙන නිසාමයි. පින්වත, මෙම මායාකාරී කෙටි ආස්වාදය, ආදීනවයේ ගොදුරු බිම බව, ධර්මානුකූලව අපි තේරුම් ගන්න ඕනේ.
පින්වත, මේ පංච උපාදානස්කන්ධ ලෝකයේ සදාතනික උරුමය, උපත සහ මරණයයි. පින්වත, අපේ එකම සම්මා වායාමය විය යුත්තේ ජීවිතය, මරණයෙන් බේරා ගැනීම නොව, ජීවිතය අවිද්‍යාවෙන් බේරා ගැනීමයි. පින්වත, අපි, අපේ ජීවිතය අවිද්‍යාවෙන් බේරා නොගත්තොත්, අපි හැමෝට ම සිද්ධ වෙනවා, අපේ ජීවිත මරණයෙන් බේරා ගන්න.
පින්වත, මහා පස් කඳු නාය ගොස් මහ පොළොව මත මිහිදන් වූ අහිංසකයන්ගේ ජීවිත, මරණයෙන් බේරුණ අපිට කියලා දෙන පාඩම, යළි බෝක්කු හැදීම, පාලම්, පාරවල් හැදීම නොවේ. මේ වියරු සංස්කාර රකුසා පෝෂණය කරන අවිද්‍යාවෙන්, අපේ ජීවිත බේරා ගන්න කියන දුර්ලභ පාඩමයි. පින්වත, අපි මොනතරම් දුර්ලභ පාඩම් ඉගෙන ගත්තත්, අපේ ම තෘෂ්ණාවේ ජන්ම ගතිය, උගත් පාඩම් අමතක කොට දැමීමයි. පින්වත, දිට්වා කුණාටුව උගන්වපු පාඩමත් තවත් තුන් මසක් යන කොට අපිට අමතක වෙලා යාවි.
පින්වත, දිට්වා කුණාටුව යැයි කියන්නේ සතර මහා ධාතුවේ කිපීමක්. පින්වත, කායානුපස්සනාවට අයත්, බාහිර සතර මහා ධාතුවට අදාළව, ධාතු මනසිකාරය තුළයි, ධර්මානුකූලව ඉහත කාරණය අපි විග්‍රහ කොට ගත යුත්තේ. පින්වත, දිට්වා කුණාටුව නාමයෙන් තියුණු සතර මහා ධාතුවේ කිපීමක් ක්‍රියාත්මක වුවත්, පින්වත් ඔබට එකම, එක සිතුවිල්ලකින් හෝ ධාතු මනසිකාරයට අදාළව සතිය සිහිය ඇති වුණා ද? පින්වත, අපේ ඇලීම් සහ ගැටීම් අපිව පුහුණු කොට තිබෙන්නේ, ධර්මය, අධර්මය කොට දැකීමටමයි. පින්වත, මෙය සටහන් තබන භික්ෂුවට මේ නිමේෂයේදීත් දිට්වා කුණාටුවේ දෝංකාරය ඇසෙනවා. පින්වත, දිට්වා කුණාටුවේ දෝංකාරයේ හඬ පින්වත් ඔබටත් ඇසුණා ද? පින්වත, එම දෝංකාරයේ හඬ ඔබ සිහිනුවණින් විවෘත කොට බැලුවා ද? පින්වත, දිට්වා කුණාටුවේ දෝංකාරය තුළ සැඟවී තිබුණේ, සත්ත්වයා කර්මය මගේ කොට ගෙන උපදියි, සත්ත්වයා කර්මය දායාද කොට ගෙන උපදියි, සත්ත්වයා කර්මය ඥාතියා කොට ගෙන උපදියි යැයි කියන අර්ථය ම නේද?
පින්වත, වැරදි සුද්ද කරන්න යන්න එපා. වැරදි සුද්ද කරද්දී, පෙරළා වැරදිමයි මතු කොට දෙන්නේ. පින්වත, වැරදි තේරුම් ගෙන ඇත්තට විවෘත වෙන්න. පින්වත, අපි කවුරුවත් ම තවම නිවැරදි වෙලා නැහැ. අපි හැමෝම සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, අන්‍යශීලවෘතයන්ට සහ කාම, රාග, පටිඝයන්ට සිත් සේ විවෘතවයි සිටින්නේ. අපේ නිවැරදිභාවය උදෙසා අපි සිංහ සෙයියාවෙන් සිවල් නාද කළත්, අපි වැරදි යැයි, සංස්කාර අධිකරණය ලබා දුන් නිවැරදි තීන්දුවයි දිට්වා කුණාටුව යැයි කියන්නේ.
පින්වත, සංස්කාර අධිකරණය, රටේ ගෞරවනීය නායකයාගේ පටන් පුංචි මනුෂ්‍යයා දක්වා ලබා දුන් නිවැරදි විනිශ්චය ඉදිරියේවත්, දුකට හේතුව තෘෂ්ණාව යැයි කියන සත්‍යයට අපි දැන්වත් විවෘත වෙමු. පින්වත, සංස්කාර අධිකරණයේ තීන්දුවට ගරු කරමු.
පින්වත, දිට්වා කුණාටුව යැයි කියන්නේ දේව කෝපයක් නොවේ. පින්වත, දෙවියා යැයි කියන්නේ අවිද්‍යාව හේතුවෙන් සකස් වූ සංස්කාරයක්.
පින්වත, දෙවියන් ක්‍රියාත්මක වන්නේත් සංස්කාර හේතුවෙන් සකස් වන පටිච්චසමුප්පන්න දැනීම් ඔස්සේයි. පින්වත, දෙවියන්ටත් ඉහළින් තිබෙන ධර්මතාවයක් තිබෙනවා. ඒ තමයි අවිද්‍යාව හේතුවෙන් සකස් වන සංස්කාරයෝ. පින්වත, දිට්වා කුණාටුව යැයි කියන්නේ අපේ ම අකුසල් සංස්කාරයන් දෝරෙ ගලායෑමෙන් ඇති වූ සතර මහා ධාතුවේ කිපීමක්. පින්වත, අකුසල් සංස්කාරයෝ යැයි කියන්නේ පින්වත් මනුෂ්‍යයා සිතින්, කයින්, වචනයෙන් සිදු කොට ගන්නා වැරදි ක්‍රියාවන්ට. පින්වත, මේ අකුසල් සංස්කාර ප්‍රවාහය එක රැයින් ඇති වූවක් නොවේ. එක පිරිසකගෙන් ඇති වූවක් ද නොවේ.
අපේ රටේ අතීතයේ පටන් පැවති තෘෂ්ණාධික දේශපාලනය හේතුවෙන් සමස්ත ජාතිය ම සකස් කොට ගත් අකුසල් සංස්කාරයෝ, රසායනික පොහොර සම්පූර්ණයෙන් ම තහනම් කිරීමෙන් ඇති වූ ආර්ථික බිඳ වැටීම හේතුවෙන් සමස්ත ජාතිය ම සකස් කොට ගත් අකුසල් සංස්කාරයෝ.
පින්වත, ගෝල්ෆේස් අරගලය මුල්කොට ගෙන සමස්ත ජාතිය ම ඇති කොට ගත් අකුසල් සංස්කාරයෝ සහ ඉන් ඉක්බිති කලඑළි බැස්ස අන්‍යශීලවෘතයෝ මුල්කොටගත් අනාගමික මිථ්‍යා දෘෂ්ටීන් හේතුවෙන් සමස්ත ජාතිය ම ගොදුරු කොට ගත් අකුසල් සංස්කාරයන්ගේ දීර්ඝකාලීන සක්‍රියභාවයේ ඒහිපස්සික ඵලයයි, විනාශයේ දුක් කඳුළු මතින් කලඑළි බැස්ස දිට්වා අකුසලයේ කුණාටුව. පින්වත, රටේ ජනතාවගේ ජීවිත සහ දේපළවල ආරක්‍ෂාව උදෙසා සියලුම රාජ්‍ය නායක පින්වතුන්ලා තුළ ඒකාධිපතිත්වයෙන් බැහැර වූ මධ්‍යම ප්‍රතිපදාව කෙරෙහි සතිය සහ සිහිය දැන්වත් ඇති වේවා!
පින්වත් මහත්මයෙක් භික්ෂුවට කියනවා, “ස්වාමීන් වහන්ස, පන්සල්, දේවාල පවා අකුසලයේ දිට්වා කුණාටුවට ගොදුරු වුණා. උතුම් තෙරුවන්ගේ සරණ, දෙවියන්ගේ පිහිට අපිට නැති ද?” කියලා. පින්වත, උතුම් තෙරුවන් වැඩ සිටින්නේ පන්සලේ, ආරණ්‍යයේ, බෝ මළුවේ, බුදු මැදුරේ නොව, මනුෂ්‍ය අපේ ශ්‍රද්ධාවෙන්, මෛත්‍රියෙන්, ශීලයෙන් පෝෂණය වූ ආධ්‍යාත්මය තුළයි. පින්වත, දේවාලයේ වැඩ සිටින්නේ දෙවියන් නොව පින්වත් කපු මහත්වරුන් පමණක් මයි. පින්වත, දෙවියන් වැඩ සිටින්නේ මනුෂ්‍ය ධර්මයන් සහ පරාර්ථකාමී ධර්මයන්ගෙන් පරිපූර්ණ, මනුෂ්‍ය අපේ ආධ්‍යාත්මයන් තුළයි. පින්වත, ඉහත මනුෂ්‍ය ධර්මයන්ගේ ගුණාත්මකභාවයන්ගෙන් අපේ ජීවිත දුර්වල වුණොත්, පන්සල් සහ දේවාල කෙසේ නම් අපිව ආරක්‍ෂා කොට දෙන්න ද? පින්වත, පන්සල සහ දේවාලය යනු ඉහත මනුෂ්‍ය ධර්මයෝ සහ චතුරාර්ය සත්‍යය ධර්මයෝ අපිට පුහුණු කොට දෙන උපකාරක ධර්මයෝ පමණක් මයි. පින්වත, ඔබේ ජීවිතය ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් පිරුණ පන්සලක්, ආරණ්‍යයක් බවට පත් කොට ගන්න දක්‍ෂ වෙන්න. පින්වත, ජීවිතය දෙවියන් වැඩ සිටින දෙවොලක් බවට පත් කොට ගන්න දක්‍ෂ වෙන්න. පින්වත, අත්වින්ද ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව දුකට, ප්‍රියයන්ගෙන් වෙන් වීමේ දුකට එකම හේතුව දිට්වා කුණාටුවට හේතු වූ අපේ ආත්මාර්ථකාමී, බලකාමී තෘෂ්ණාව ම බව සිහිනුවණින් තේරුම් ගන්න.
පින්වත, මනුෂ්‍ය අපිට බොරු කරන්න බැහැ. ස්වභාව ධර්මයේ වැලි කැටයට, තණකොළ ගසට පවා මනුෂ්‍ය අපේ ක්‍රියාකාරකම් දැනෙනවා.
පින්වත, සත්තිස් බෝධිපාක්‍ෂික ධර්මයෝ ම උතුම් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් උපදින ආනිශංස ධර්මයෝයි. පින්වත, මනුෂ්‍යයන්ට, දෙවියන්ට ප්‍රිය වීම ඇතුළු ආනිශංස එකොළහක් මෛත්‍රියේ ආනිශංසයෝයි. පින්වත, අභියෝගයන් හමුවේ නොසැලීම, භව භෝග සම්පත් ආරක්‍ෂා වීම ඇතුළු ආනිශංසයෝ පහක් උතුම් ශීලයේ ආනිශංසයෝ ය. පින්වත, වර්ණය, සැපය, බලය දානයේ ආනිශංසයෝ ය. පින්වත, සමස්ත ජාතියේ ම ආරක්‍ෂාව උදෙසා සද්ධර්මයෙන් යළි අවදි වෙන්න. එසේ නොවුණොත්, හෙට දවස සමස්ත ජාතියට ම අභියෝගයක් වෙනවා. පින්වත, උතුම් සම්මා දිට්ඨිය දෙමුහුන් කොට ගෙන උපදින අනාගමිකභාවයේ පරාජිත විපාකයෝ වන්නේ, ජාතියේ ප්‍රෞඪ ඉතිහාසය මකා දැමීම, සමලිංගික සේවනය සමාජගත කිරීම, ගණිකා වෘත්තිය නීතිගත කිරීම, ගබ්සාව නීතිගත කිරීම, උපක්‍රමශීලීව ළමා පරපුර කාමච්ඡන්දයන්ට යොමු කිරීම, උපක්‍රමශීලීව සංඝ සමාජයට චෝදනා එල්ල කිරීම බව සිහිනුවණින් තේරුම් ගන්න. පින්වත, මෙවන් දුර්විපාකයන්ගෙන් සමස්ත ජාතියේ ම ආරක්‍ෂාව අකුසලයෙන් අනාරක්‍ෂිත නොකර, රටේ ගෞරවනීය නායක පින්වතුන්ලා සමස්ත ජාතියේ ම හෘද සාක්‍ෂිය නිවැරදිව තේරුම් ගන්න දැන්වත් උත්සාහ ගන්න. එසේ නොවුණොත් ඊළඟ ස්වභාව ධර්මයේ දඬුවම මීට වඩා භයානක වෙන්න පුළුවන්.
පූජ්‍ය රාජගිරියේ
අරියඥාන ස්වාමින්වහන්සේ

