ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම විදේශ ආයෝජනය ලෙස හුවා දක්වමින් හම්බන්තොට
ඉදිකිරීමට සැලසුම් කළ චීනයේ Sinopec තෙල් පිරිපහදු ව්‍යාපෘතිය අත්හැර දැමීමට වත්මන් රජය පසුගියදා තීරණය කළේය. ඒ 2023 නොවැම්බර් 27 දිනැති කැබිනට් තීරණයකට අනුව මුලින් අනුමත කර තිබූ මෙම කොන්ත්‍රාත්තුව වහාම අවලංගු කරන ලෙස අමාත්‍ය මණ්ඩල සාකච්ඡා කමිටුව (CANC) සහ ව්‍යාපෘති කමිටුව (PC) විසින් රජයට නිල වශයෙන් නිර්දේශ කිරීමත් සමග ය.
2026 මාර්තු 31 දින පැවති CANC සහ ව්‍යාපෘති කමිටු ඒකාබද්ධ රැස්වීමේදී මෙම අවසන් තීරණය ගෙන ඇති අතර, ඒ සඳහා කමිටු සභාපති බී.කේ. ප්‍රභාත් චන්ද්‍රකීර්ති, සාමාජික මහාචාර්ය කේ.ටී.එම්. උදයංග හේමපාල සහ සාමාජික ඒ.කේ.ඩී.ඩී.ඩී. අරන්දර යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අත්සන් තබා ඇත.

මෙම ව්‍යාපෘතිය මුලින්ම සැලසුම් කෙරුණේ හුදෙක් අපනයනය ඉලක්ක කරගත් තෙල් පිරිපහදුවක් ලෙසිනි. එහෙත් සාකච්ඡා අතරතුරදී චීන සමාගම දිගින් දිගටම උත්සාහ කර ඇත්තේ දේශීය ඉන්ධන අලෙවිකරුවන්ට සහ පාරිභෝගිකයන්ට සෘජුවම ඉන්ධන සැපයීමේ අයිතිය ලබාගැනීමටයි.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සපුගස්කන්ද පිරිපහදුවට හිමිවන ආකාරයේම දේශීය විකුණුම් ප්‍රතිපාදන සහ වෙනත් වරප්‍රසාද තමන්ටද ලබාදිය යුතු බවට ඔවුන් ගෙන ආ මෙම වෙනස්කම් කරන වගන්තිය රජයේ කමිටුව විසින් මුළුමනින්ම ප්‍රතික්ෂේප කර ඇත. විදේශීය පෞද්ගලික සමාගමකට මෙරට ඉන්ධන සිල්ලර වෙළෙඳපොළේ ඒකාධිකාරයක් ගොඩනැගීමට ඉඩදීම ජාතික බලශක්ති සැපයුම බරපතළ අනතුරකට හෙළීමක් බව කමිටු නිරීක්ෂණ මඟින් තහවුරු වේ.
මෙරට ජනතාව දැඩි බදු බරකින් මිරිකී සිටින පසුබිමක, සයිනොපැක් සමාගම රජයෙන් ඉල්ලා ඇති බදු සහන ප්‍රමාණය අතිශය මවිතකරය. ආයතනික ආදායම් බද්දෙන් වසර 25ක පූර්ණ බදු සහනයක් ලබාදෙන ලෙස ඔවුන් ඉල්ලා ඇත. මීට අමතරව ලාභාංශ මත රඳවාගැනීමේ බද්ද, ණය ආපසු ගෙවීමේ පොලී මත රඳවාගැනීමේ බද්ද සහ තාක්ෂණික සේවා ගාස්තු ඇතුළු ගෙවීම් රැසක් සඳහාද වසර 25ක බදු නිදහසක් සමාගම විසින් ඉල්ලා තිබූ අතර කමිටුව විසින් එම අසාධාරණ ඉල්ලීම් සියල්ල තරයේ ප්‍රතික්ෂේප කර තිබේ. එපමණක් නොව, ව්‍යාපෘතියේ විදේශික සේවකයන් 30 දෙනෙකුගේ පුද්ගලික ආදායම් බදු වසර 10ක් පුරාවට නිදහස් කරන ලෙසද ඔවුන් කළ ඉල්ලීම රජය විසින් ඉවත දමා ඇත.



ජාතික සම්පත් සහ යටිතල පහසුකම් සූරාකෑමට අදාළව ද සමාගම දැඩි කොන්දේසි පනවා තිබුණි. අක්කර 417ක මූලික ඉඩම් ප්‍රමාණයට අමතරව තවත් අක්කර 100ක සහ 50ක ඉඩම් කොටස් දෙකක් ව්‍යාපෘතිය වෙනුවෙන් සයිනොපැක් සමාගම ඉල්ලා තිබූ අතර, ඊට කමිටුවේ එකඟතාව පළවී තිබුණි. එහෙත්, තම පිරිපහදුවෙන් ජනනය වන අතිරික්ත විදුලිය කිසිදු සීමාවකින් තොරව ජාතික විදුලිබල පද්ධතියට මුදාහැරීමටත්, ඒ සඳහා ශ්‍රී ලංකා රජය විසින් අවම වශයෙන් ඒකකයකට ඇමරිකානු ඩොලර් 0.076ක ගාස්තුවක් ගෙවන ලෙසත් කළ අත්තනෝමතික ඉල්ලීම රජයේ කමිටුව විසින් ප්‍රතික්ෂේප කර ඇත.
කමිටුව විසින් කොන්දේසි ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව, සයිනොපැක් සමාගම 2026 මාර්තු 15 වන දින ලිඛිතව දැනුම් දී ඇත්තේ තමන් තම මූලික ඉල්ලීම් සම්බන්ධයෙන් එලෙසම දැඩි ස්ථාවරයක පසුවන බවයි. ඒ අනුව, මෙම සමාගමේ කොන්දේසි යටතේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට කිසිදු හැකියාවක් නොමැති බව නිරීක්ෂණය කළ CANC කමිටුව, චීන කොන්ත්‍රාත්තුව මුළුමනින්ම අවලංගු කිරීමට තීරණය කර ඇත.
චීන සමාගමක ලාභ අධිකාරීත්වයට සහ භූ දේශපාලනික ග්‍රහණයට ශ්‍රී ලංකාව නතු නොකර, ආර්ථික ස්වෛරීභාවය සුරැකෙන පරිදි හම්බන්තොට කලාපය සඳහා නව විවෘත යෝජනා කැඳවීමක් සිදුකිරීමට කමිටුව අමාත්‍ය මණ්ඩලයට නිර්දේශ කර තිබේ. මෙය දේශීය සම්පත් සහ බලශක්ති පද්ධතිය කොල්ලකෑමට එරෙහිව රජය තැබූ තීරණාත්මක උපායමාර්ගික පියවරකි.

